සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.12.2. දුතිය මාරපාස සුත්තං

1.12.2. මාර තොණ්ඩුව ගැන වදාළ දෙවෙනි දෙසුම

පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා නම්, එහි ගුණ කියනවා නම්, එහි බැසගෙන සිටිනවා නම්, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව ඇසෙන් දත යුතු රූපවලට බැඳුනා කියලා. මාරයාගේ වාසස්ථානයට ගියා කියලා. මාරයාගේ වසඟයට ගියා කියලා. පවිටු මාරයාට කැමැති දෙයක් කරන්නට පුළුවන් කියලා.

පින්වත් මහණෙනි, කනෙන් දත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා නම්, එහි ගුණ කියනවා නම්, එහි බැසගෙන සිටිනවා නම්, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව මනසින් දත යුතු අරමුණු වලට බැඳුනා කියලා. මාරයාගේ වාසස්ථානයට ගියා කියලා. මාරයාගේ වසඟයට ගියා කියලා. පවිටු මාරයාට කැමැති දෙයක් කරන්නට පුළුවන් කියලා.

පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන සිටින්නේ නෑ, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව ඇසෙන් දත යුතු රූප වලින් නිදහස් වුණා කියලා. මාරයාගේ වාසස්ථානයට ගියේ නෑ කියලා, මාරයාගේ වසඟයට ගියේ නෑ කියලා. පවිටු මාරයාට කැමති දෙයක් කරන්නට පුළුවන් කමක් නෑ කියලා.

පින්වත් මහණෙනි, කනෙන් දත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන සිටින්නේ නෑ, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව මනසෙන් දත යුතු අරමුණු වලින් නිදහස් වුණා කියලා. මාරයාගේ වාසස්ථානයට ගියේ නෑ කියලා, මාරයාගේ වසඟයට ගියේ නෑ කියලා, පවිටු මාරයාට කැමති දෙයක් කරන්නට පුළුවන් කමක් නෑ කියලා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය මාරපාස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M