සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.12.3. ලෝකන්තගමන සුත්තං

1.12.3. ලෝකයෙහි කෙළවරට ගමන් කිරීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැන ගන්න පුළුවන් ය කියලා, දැකගන්ට පුළුවන් ය කියලා, පැමිණෙන්ට පුළුවන් ය කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ කියලා භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා අසුනෙන් නැගිට විහාරයට වැඩම කළා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මේ අදහස ඇති වුණා. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට “පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැන ගන්න පුළුවන් ය කියලා, දැකගන්ට පුළුවන් ය කියලා, පැමිණෙන්ට පුළුවන් ය කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ” කියලා සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා, විස්තර වශයෙන් අරුත් බෙදා නොදක්වා විහාරයට වැඩම කොට වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාළ විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්නේ කවුද?

එතකොට ඒ භික්ෂූන්ට මේ අදහස ඇති වුණා. මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ, ශාස්තෘන් වහන්සේ විසිනුත් යහපත් ලෙස වර්ණනා කරපු කෙනෙක්. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසිනුත් සම්භාවනා කරන ලද කෙනෙක්. ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නම්, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්ත මාතෘකාවක් වශයෙන් වදාළ, විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්ට සමර්ථයි. ඒ නිසා අපි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් මේ අරුත් විමසමු.

එතකොට ඒ භික්ෂූන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙකරුණ පැවසුවා. ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, භාග්‍යවතුන් වහන්සේ අපට “පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැනගන්න පුළුවන් ය කියලා, දැකගන්ට පුළුවන් ය කියලා, පැමිණෙන්ට පුළුවන් ය කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ” කියලා සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා, විස්තර වශයෙන් අරුත් බෙදා නොදක්වා විහාරයට වැඩම කොට වදාළා. එතකොට ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ඒ අපට මේ අදහස ඇති වුණා.

ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට “පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැනගන්න පුළුවන් ය කියලා, දැක ගන්න ය පුළුවන් කියලා, පැමිණෙන්ට පුළුවන් ය කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ” කියලා සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා, විස්තර වශයෙන් අරුත් බෙදා නොදක්වා විහාරයට වැඩම කොට වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාළ, විස්තර වශයෙන් අරුත් නො බෙදා වදාළ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්නේ කවුද? කියලා. එතකොට ඒ අපට මේ අදහස ඇති වුණා. මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ, ශාස්තෘන් වහන්සේ විසිනුත් යහපත් ලෙස වර්ණනා කරපු කෙනෙක්. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසිනුත් සම්භාවනා කරන ලද කෙනෙක්. ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නම්, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්ත මාතෘකාවක් වශයෙන් වදාළ, විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්ට සමර්ථයි. ඒ නිසා අපි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් මේ අරුත් විමසමු කියලා. ආයුෂ්මත් ආනන්දයෙනි, එය බෙදා දක්වනු මැනව.

ප්‍රිය ආයුෂ්මතුනි, ඕක මේ වගේ දෙයක්. ඔන්න අරටුවකින් ප්‍රයෝජන ඇති පුරුෂයෙක් හිටියා. ඔහු අරටුවක් සොයමින්, අරටුවක් විමසමින් ඇවිදගෙන යද්දි අරටුව සහිතව තියෙන මහා රුකක් දැක්කා. ඉතින් ඔහු මුල ඉක්මවා, කඳත් ඉක්මවා, කොළ අතුවල අරටුව සෙවිය යුතුය කියා සිතනවා නම්, ඒකත් මේ වගේ දෙයක් තමයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේලා හට ශාස්තෘන් වහන්සේව සම්මුඛ වූ වෙලාවේ ඒ භාග්‍යවතුන් වහන්සේව ඉක්මවා, අපෙන් ඔය අරුත් විමසන්නට සිතුවා නොවැ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ම දත යුතු දෙය දන්නා සේක. දැක්ක යුතු දෙය දක්නා සේක. දහම් ඇස් ඇති සේක. නුවණ තුළ ම සිටින සේක. ධර්මය තුළම සිටින සේක. ශ්‍රේෂ්ඨත්වය තුළ ම සිටින සේක. පිරිසිදු වදන් පවසන සේක. මැනවින් පවසන වදන් ඇති සේක. අරුත් මතු කොට පෙන්වන සේක. අමා නිවන් දෙන සේක. ධර්ම ස්වාමී වන සේක. තථාගත වන සේක. යම් හෙයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ම ඔය අර්ථය විමසුවා නම්, එයට කල් තිබුණා. යම් විදියකින් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් නම් ඒ විදිහට ම යි දරා ගත යුත්තේ.

ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඒකාන්තයෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ ම දත යුතු දෙය දන්නා සේක. දැක්ක යුතු දෙය දක්නා සේක. දහම් ඇස් ඇති සේක. නුවණ තුළ ම සිටි සේක. ධර්මය තුළ ම සිටින සේක. ශ්‍රේෂ්ඨත්වය තුළ ම සිටින සේක. පිරිසිදු වදන් පවසන සේක. මැනවින් පවසන වදන් ඇති සේක. අරුත් මතු කොට පෙන්වන සේක. අමා නිවන් දෙන සේක. ධර්ම ස්වාමී වන සේක. තථාගත වන සේක.

යම් හෙයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ම ඔය අර්ථය විමසුවා නම්, එයට කල් තිබුණා. යම් විදියකින් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් නම් ඒ විදිහට ම තමයි අප දරා ගත යුත්තේ. එනමුත් ආයුෂ්මත් ආනන්දයන් ශාස්තෘන් වහන්සේ විසිනුත් යහපත් ලෙස වර්ණනා කරපු කෙනෙක්. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසිනුත් සම්භාවනා කරන ලද කෙනෙක්. ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නම්, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාළ, විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ මේ ධර්මයෙහි අර්ථ විස්තර වශයෙන් බෙදා පෙන්වන්ට සමර්ථයි. ආයුෂ්මත් ආනන්දයන් බරක් නො කොට මෙහි අරුත් බෙදා පැවසුව මැනව.

එසේ වී නම් ආයුෂ්මතුනි, සවන් යොමා අසන්න. මැනවින් නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්. ‘එසේය ආයුෂ්මතුනි’ කියලා ඒ භික්ෂූන් ආයුෂ්මත් ආනන්දයන්ට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය පැවසුවා. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඔබට “පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැනගන්න පුළුවන් කියලා, දැකගන්ට පුළුවන් කියලා, පැමිණෙන්ට පුළුවන් කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ” කියලා සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා, විස්තර වශයෙන් අරුත් බෙදා නොදක්වා විහාරයට වැඩම කොට වදාළේ යමක් ගැනද, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ ඒ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්ට මා මේ විදිහට දන්නවා.

ප්‍රිය ආයුෂ්මතුනි, යමක් නිසාවෙන් ලෝකයෙහි ලෝකය ය යන සංඥාව ඇතිවෙයි ද, ලෝකය ය යන මිම්ම ඇතිවෙයි ද, ආර්ය විනයෙහි ලෝකය කියන්නේ මෙයට තමයි. ප්‍රිය ආයුෂ්මතුනි, කුමක් හේතුවෙන් ද ලෝකයෙහි ලෝකය හඳුනාගන්නේ, ලෝකය යන මිම්ම ඇති වෙන්නේ?

ප්‍රිය ආයුෂ්මතුනි, ඇස නිසාවෙනුයි ලෝකයෙහි ලෝකසංඥාව ඇතිවන්නේ. ලෝකය ය යන මිම්ම ඇති වෙන්නේ. කන නිසාවෙනුයි ලෝකයෙහි ලෝකසංඥාව ඇතිවන්නේ. ලෝකය ය යන මිම්ම ඇති වෙන්නේ. නාසය නිසාවෙනුයි ලෝකයෙහි ලෝකසංඥාව ඇතිවන්නේ. ලෝකය ය යන මිම්ම ඇති වෙන්නේ. දිව නිසාවෙනුයි ලෝකයෙහි ලෝකසංඥාව ඇතිවන්නේ. ලෝකය ය යන මිම්ම ඇති වෙන්නේ. කය නිසාවෙනුයි ලෝකයෙහි ලෝකසංඥාව ඇතිවන්නේ. ලෝකය ය යන මිම්ම ඇති වෙන්නේ. මනස නිසාවෙනුයි ලෝකයෙහි ලෝකසංඥාව ඇතිවන්නේ. ලෝකය ය යන මිම්ම ඇති වෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යමක් නිසාවෙන් ලෝකයෙහි ලෝකය ය යන සංඥාව ඇතිවෙයි ද, ලෝකය ය යන මිම්ම ඇතිවෙයි ද, ආර්ය විනයෙහි ලෝකය කියන්නේ මෙයට තමයි.

ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඔබට “පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැනගන්ට පුළුවන් ය කියලා, දැක ගන්ට පුළුවන් ය කියලා, පැමිණෙන්න පුළුවන් ය කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ” කියලා සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා, විස්තර වශයෙන් අරුත් බෙදා නොදක්වා විහාරයට වැඩම කොට වදාළේ යමක් ගැනද, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාළ විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ ඒ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්ට මා මේ විදිහට තමයි දන්නේ. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ඔබලා කැමති නම් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිනුත් ඔය අර්ථය විමසන්න. භාග්‍යවතුන් වහන්සේ යම් අයුරකින් වදාරණ සේක් නම් ඔබ ධාරණය කර ගත යුත්තේ ඒ අයුරින් ම යි.

එසේය ප්‍රිය ආයුෂ්මතුනි, කියලා ඒ භික්ෂූන් ආයුෂ්මත් ආනන්දයන්ට පිළිතුරු දීලා අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපට “පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැනගන්න පුළුවන් ය කියලා, දැක ගන්ට පුළුවන් ය කියලා, පැමිණෙන්ට පුළුවන් ය කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ” කියලා සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා, විස්තර වශයෙන් අරුත් බෙදා නොදක්වා විහාරයට වැඩම කොට වදාළා. එතකොට ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ඒ අපට මේ අදහස ඇති වුණා.

ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට “පින්වත් මහණෙනි, ගමනින් ගිහින් ලෝකයෙහි කෙළවරක් දැනගන්න පුළුවන් ය කියලා, දැක ගන්ට පුළුවන් ය කියලා, පැමිණෙන්ට පුළුවන් ය කියලා මා කියන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නේ නැතුව දුක කෙළවර කිරීමක් ගැනත් මා කියන්නේ නෑ” කියලා සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාරා, විස්තර වශයෙන් අරුත් බෙදා නොදක්වා විහාරයට වැඩම කොට වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තව මාතෘකාවක් වශයෙන් වදාළ විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්නේ කවුද? කියලා.

එතකොට ස්වාමීනී, ඒ අපට මේ අදහස ඇති වුණා. මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ, ශාස්තෘන් වහන්සේ විසිනුත් යහපත් ලෙස වර්ණනා කරපු කෙනෙක්. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසිනුත් සම්භාවනා කරන ලද කෙනෙක්. ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නම්, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්ත මාතෘකාවක් වශයෙන් වදාළ, විස්තර වශයෙන් අරුත් නොබෙදා වදාළ මේ ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් බෙදා පෙන්වන්ට සමර්ථයි. ඒ නිසා අපි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් මේ අරුත් විමසමු. කියලා.

ඉතින් ස්වාමීනී, අපි ආයුෂ්මත් ආනන්දයන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් ආනන්දයන්ගෙන් ඔය කරුණ විමසුවා. එතකොට ස්වාමීනී, ඒ අපට ආයුෂ්මත් ආනන්දයන් විසින් මේ මේ අයුරින්, මේ මේ පදවලින්, මේ මේ වචනවලින් අර්ථය බෙදා දැක්වූවා.

පින්වත් මහණෙනි, ආනන්ද හොඳ නුවණැතියෙක් නොවැ. පින්වත් මහණෙනි, ආනන්ද මහා ප්‍රඥාවන්තයෙක් නොවැ, ඔබ පින්වත් මහණෙනි, ඔය අරුත මගෙන් විමසුවා නම්, මාත් පිළිතුරු දෙන්නේ ඔය ආකාරයට ම යි. ඒ කියන්නේ ආනන්දයන් පිළිතුරු දුන් ආකාරයට ම යි. එම දෙසුමේ අර්ථය ඕක ම යි. ඔය කරුණ මතක තබා ගත යුත්තේත් ඔය විදිහට ම යි.

සාදු! සාදු!! සාදු!!!

ලෝකන්තගමන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M