පින්වත් මහණෙනි, කුමක් ඇති කල්හි ද, කුමක් හේතුවෙන් ද තමා තුළ සැප දුක් ඇති වන්නේ?
ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි පවතින්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ම ඔය වදාළ කරුණෙහි අරුත් වැටහෙන සේක් නම් ඉතා යහපති. එතකොට භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් මතකයේ රඳවා ගනීවී. එසේ වී නම් පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න. හොඳින් නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්. එසේය ස්වාමීනී, කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
පින්වත් මහණෙනි, ඇස තිබෙන විට තමයි ඇස හේතුවෙන් තමා තුළ සැප දුක් උපදින්නේ. කන තිබෙන විට තමයි කන හේතුවෙන් තමා තුළ සැප දුක් උපදින්නේ. නාසය තිබෙන විට තමයි නාසය හේතුවෙන් තමා තුළ සැප දුක් උපදින්නේ. දිව තිබෙන විට තමයි දිව හේතුවෙන් තමා තුළ සැප දුක් උපදින්නේ. කය තිබෙන විට තමයි කය හේතුවෙන් තමා තුළ සැප දුක් උපදින්නේ. මනස තිබෙන විට තමයි මනස හේතුවෙන් තමා තුළ සැප දුක් උපදින්නේ.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඇස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුකයි නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය උපාදාන වශයෙන් නොගෙන සිටි කල්හිත් අධ්‍යාත්මික වශයෙන් සැප, දුක් උපදිනවාද? ස්වාමීනී, එය නොවන්නේ ම ය.
කන නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. නාසය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. දිව නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. කය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. මනස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුකයි නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය උපාදාන වශයෙන් නොගෙන සිටි කල්හිත් අධ්‍යාත්මික වශයෙන් සැප, දුක් උපදිනවාද? ස්වාමීනී, එය නොවන්නේ ම ය.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රවකයා ඔය අයුරින් දකින විට, ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා’ බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන පිණිස කළ යුතු දෙය කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
උපාදාය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M