සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.11.3. දුක්ඛසමුදය සුත්තං

1.11.3. දුකේ හටගැනීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, දුකේ හටගැනීමත්, නැතිවීමත් කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, දුකේ හටගැනීම යනු කුමක්ද?

ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. මෙය තමයි දුකේ හටගැනීම. කනත් නිසා ….(පෙ)…. නාසයත් නිසා ….(පෙ)…. දිවත් නිසා ….(පෙ)…. කයත් නිසා ….(පෙ)…. මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ හටගැනීම.

පින්වත් මහණෙනි, දුකේ නැතිවීම යනු කුමක්ද? ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, සෝක වැලපීම්, දුක්දොම්නස්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයටයි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වෙන්නේ. මෙය තමයි දුකේ නැතිවීම.

කනත් නිසා ….(පෙ)…. නාසයත් නිසා ….(පෙ)…. දිවත් නිසා ….(පෙ)…. කයත් නිසා ….(පෙ)…. මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, සෝක වැලපීම්, දුක්දොම්නස්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයටයි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වෙන්නේ. පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ නැතිවීම.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛසමුදය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M