සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.10.5. සංවර සුත්තං

1.10.5. සංවර වීම මුල් කොට වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මා ඔබට සංවර කමත්, අසංවර කමත් දේශනා කරන්නටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, අසංවර වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඇසෙන් දත යුතු සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය පිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි.

පින්වත් මහණෙනි, කනෙන් දැනගත යුතු වූ ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු වූ රස තියෙනවා ….(පෙ)…. කයෙන් දැනගත යුතු වූ පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය පිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි. පින්වත් මහණෙනි, අසංවර වන්නේ ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, සංවර වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඇසෙන් දත යුතු සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නේ නෑ. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙන්නේ නෑ. භාග්‍යවතුන් විසින් වදාරණ ලද්දේ මෙය නොපිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි.

පින්වත් මහණෙනි, කනෙන් දැනගත යුතු වූ ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු වූ රස තියෙනවා ….(පෙ)…. කයෙන් දැනගත යුතු වූ පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නේ නෑ. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙන්නේ නෑ. භාග්‍යවතුන් විසින් වදාරණ ලද්දේ මෙය නොපිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි. පින්වත් මහණෙනි, සංවර වන්නේ ඔය විදිහටයි.

සාදු! සාදු!! සාදු!!!

සංවර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M