සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.10.4. පමාදවිහාරී සුත්තං

1.10.4. නිවන් මගෙහි ප්‍රමාදීව වාසය කිරීම මුල් කොට වදාළ දෙසුම

පින්වත් මහණෙනි, නිවන් මගෙහි ප්‍රමාදීව වාසය කිරීමත්, නිවන් මගෙහි අප්‍රමාදීව වාසය කිරීමත් ගැන මා ඔබට දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, නිවන් මගෙහි ප්‍රමාදීව වාසය කිරීම වෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනාගේ සිත ඇසින් දත යුතු රූපවල දී කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා. කෙලෙස්වලින් තෙත් වුණ සිතක් ඇති කෙනාට (සීල, සමාධි, ප්‍රඥා මාර්ගයෙහි යෙදෙන්ට) ප්‍රමුදිත බවක් නෑ. ප්‍රමුදිත බව නැති විට ප්‍රීතියක් නෑ. ප්‍රීතිය නැති වූ විට සැහැල්ලුවක් නෑ. සැහැල්ලු බව නැති විට දුකසේ වාසය කරන්නේ. දුකින් ඉන්න කෙනෙකුගේ සිත සමාධිමත් වෙන්නේ නෑ. සිතේ සමාහිත බවක් නැති විට (සමථ, විදර්ශනා) ධර්ම පහළ වෙන්නේ නෑ. දහම් පහළ නොවීමෙන් නිවන් මගෙහි ප්‍රමාදීව වාසය කරනවා යන ගණනට වැටෙනවා.

පින්වත් මහණෙනි, කන නම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනාගේ ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසය නම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනාගේ ….(පෙ)…. පින්වත් මහණෙනි, දිව නම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනාගේ සිත දිවෙන් දත යුතු රසවලදී කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා. කෙලෙස්වලින් තෙත් වුණ සිතක් ඇති කෙනාට (සීල, සමාධි, ප්‍රඥා මාර්ගයෙහි යෙදෙන්ට) ප්‍රමුදිත බවක් නෑ ….(පෙ)…. පින්වත් මහණෙනි, කය නම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනාගේ ….(පෙ)…. පින්වත් මහණෙනි, මනස නම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනාගේ සිත මනසින් දත යුතු අරමුණුවලදී කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා. කෙලෙස්වලින් තෙත් වුණ සිතක් ඇති කෙනාට (සීල, සමාධි, ප්‍රඥා මාර්ගයෙහි යෙදෙන්ට) ප්‍රමුදිත බවක් නෑ. ප්‍රමුදිත බව නැති විට ප්‍රීතියක් නෑ. ප්‍රීතිය නැති වූ විට සැහැල්ලුවක් නෑ. සැහැල්ලු බව නැති විට දුක සේ වාසය කරන්නේ. දුකින් ඉන්න කෙනෙකුගේ සිත සමාධිමත් වෙන්නේ නෑ. සිතේ සමාහිත බවක් නැති විට (සමථ, විදර්ශනා) ධර්ම පහළ වෙන්නේ නෑ. දහම් පහළ නො වීමෙන් නිවන් මගෙහි ප්‍රමාදීව වාසය කරනවා යන ගණනට වැටෙනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට තමයි ප්‍රමාදීව වාසය කරන කෙනෙක් වෙන්නේ.

පින්වත් මහණෙනි, නිවන් මගෙහි අප්‍රමාදීව වාසය කිරීම වෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඇස නම් වූ ඉන්ද්‍රිය සංවරව වාසය කරන කෙනාගේ සිත ඇසින් දත යුතු රූපවලදී කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නෑ. කෙලෙස්වලින් තෙත් නොවුණ සිතක් ඇති කෙනාට (සීල, සමාධි, ප්‍රඥා මාර්ගයෙහි යෙදෙන්ට) ප්‍රමුදිත බව උපදිනවා. ප්‍රමුදිත බව ඇති වූ කෙනාට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිමත් මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුන කයින් යුතුව සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. සිතේ සමාහිත බවක් ඇති විට (සමථ, විදර්ශනා) ධර්ම පහළ වෙනවා. දහම් පහළ වීමෙන් නිවන් මගෙහි අප්‍රමාදීව වාසය කරනවා යන ගණනට වැටෙනවා.

පින්වත් මහණෙනි, කන නම් වූ ඉන්ද්‍රිය සංවරව වාසය කරන කෙනාගේ ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසය නම් වූ ඉන්ද්‍රිය සංවරව වාසය කරන කෙනාගේ ….(පෙ)…. පින්වත් මහණෙනි, දිව නම් වූ ඉන්ද්‍රිය සංවරව වාසය කරන කෙනාගේ ….(පෙ)…. පින්වත් මහණෙනි, කය නම් වූ ඉන්ද්‍රිය සංවරව වාසය කරන කෙනාගේ ….(පෙ)…. පින්වත් මහණෙනි, මනස නම් වූ ඉන්ද්‍රිය සංවරව වාසය කරන කෙනාගේ සිත මනසින් දත යුතු අරමුණුවලදී කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නෑ. කෙලෙස්වලින් තෙත් නොවුණ සිතක් ඇති කෙනාට (සීල, සමාධි, ප්‍රඥා මාර්ගයෙහි යෙදෙන්ට) ප්‍රමුදිතබව උපදිනවා. ප්‍රමුදිත බව ඇති වූ කෙනාට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිමත් මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුන කයින් යුතුව සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. සිතේ සමාහිත බවක් ඇති විට (සමථ, විදර්ශනා) ධර්ම පහළ වෙනවා. දහම් පහළ වීමෙන් නිවන් මගෙහි අප්‍රමාදීව වාසය කරනවා යන ගණනට වැටෙනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට තමයි අප්‍රමාදීව වාසය කරන කෙනෙක් වෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!

පමාදවිහාරී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M