සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.10.3. පරිහානධම්ම සුත්තං

1.10.3. පිරිහී යන දෙය මුල් කොට වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මා ඔබට පිරිහී යන දෙයත්, නො පිරිහී යන දෙයත්, සිතින් මැඬලන ආයතන හය ගැනත් දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, පිරිහී යන දෙය ඇති වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවට ඇසෙන් රූපයක් දැකලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා. භික්ෂුව ඒක ඉවසනවා. බැහැර කරන්නේ නෑ. දුරු කරන්නේ නෑ. අවසන් කරන්නේ නෑ. ආයෙමත් අකුසල් හට නොගන්නා ලෙස අභාවයට පත් කරන්නේ නෑ. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය පිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි.

පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට කනෙන් ශබ්දයක් අසලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට දිවෙන් රසයක් අනුභව කරලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට කයෙන් පහසක් ලබලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට මනසින් අරමුණක් සිතලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා. භික්ෂුව ඒක ඉවසනවා. බැහැර කරන්නේ නෑ. දුරු කරන්නේ නෑ. අවසන් කරන්නේ නෑ. ආයෙමත් අකුසල් හට නො ගන්නා ලෙස අභාවයට පත් කරන්නේ නෑ. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය පිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි. පින්වත් මහණෙනි, ඔය විදිහට තමයි පිරිහී යන දෙය ඇති වන්නේ.

පින්වත් මහණෙනි, නොපිරිහී යන දෙය ඇති වෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවට ඇසෙන් රූපයක් දැකලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා. භික්ෂුව ඒක ඉවසන්නේ නෑ. බැහැර කරනවා. දුරු කරනවා. අවසන් කරනවා. ආයෙමත් අකුසල් හට නොගන්නා ලෙස අභාවයට පත් කරනවා. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය නොපිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි.

පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට කනෙන් ශබ්දයක් අසලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් අනුභව කරලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට මනසින් අරමුණක් සිතලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදිනවා. භික්ෂුව ඒක ඉවසන්නේ නෑ. බැහැර කරනවා. දුරු කරනවා. අවසන් කරනවා. ආයෙමත් අකුසල් හට නොගන්නා ලෙස අභාවයට පත් කරනවා. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව “මං කුසල් දහම්වලින් පිරිහෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය නොපිරිහීමක් කියලයි” යනුවෙන් මේ කරුණ දැනගත යුතුයි. පින්වත් මහණෙනි, ඔය විදිහට තමයි නොපිරිහී යන දෙය ඇති වන්නේ.

පින්වත් මහණෙනි, සිතින් මැඬලන ආයතන හය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවට ඇසෙන් රූපයක් දැකලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදින්නේ නෑ. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙකරුණ තේරුම් ගත යුත්තේ මා විසින් මේ ආයතනය මර්දනය කොට තිබෙන බවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය අභිභායතනයක් (මඩින ලද ආයතනයක්) ලෙසය.

පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට කනෙන් ශබ්දයක් අසලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් අනුභව කරලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත තව කරුණක් කියනවා නම්, මෙහිලා භික්ෂුවට මනසින් අරමුණක් සිතලා කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් උපදින්නේ නෑ. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙකරුණ තේරුම් ගත යුත්තේ මා විසින් මේ ආයතනය මර්දනය කොට තිබෙන බවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙය අභිභායතනයක් (මඩින ලද ආයතනයක්) ලෙසය. පින්වත් මහණෙනි, අභිභූ ආයතන හය කියලා කියන්නේ මේවාටයි.

සාදු! සාදු!! සාදු!!!

පරිහානධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M