එදා ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීර්යය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්න පුළුවනි.”
“පින්වත් මාලුංක්‍යපුත්ත, දැන් මම මෙහි තරුණ භික්ෂූන් හට මොකක්ද කියන්නේ? හොඳටම වයසට ගිය, වයෝවෘද්ධ වූ, මහළු වූ, පිළිවෙළින් පශ්චිම වයසට ගිය, භික්ෂුවක් වන ඔබ වැනි අයත් කෙටියෙන් අවවාද ඉල්ලනවා නොවැ.” “අනේ ස්වාමීනී, මම ඉතින් හොඳටම වයසට ගිය, වයෝවෘද්ධ වූ, මහළු වූ, පිළිවෙළින් පශ්චිම වයසට ගිය, භික්ෂුවක් වුණත්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. සුගතයන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. මටත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ අරුත දැන ගන්ට ඇත්නම් කොතරම් හොඳද. මමත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට හිමිකරුවෙක් වෙනවා නම් කොතරම් හොඳද.”
“පින්වත් මාලුංක්‍යපුත්ත, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඔබ ඇසින් දැක්ක යුතු වූ යම් රූපයන් දැකලා නැද්ද, කලිනුත් දැක නැද්ද, ඔබ දැනුත් ඒවා දකින්නේ නැතිනම්, දකින්න ඕනේ කියලා ඔබට හිතෙන්නේත් නැත්නම්, ඒ රූප කෙරෙහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇතිවෙනවාද?” “ස්වාමීනී, එය නොවේ ම යි.”
“ඔබ නොඅසපු, කලිනුත් නොඅසපු, කනෙන් දත යුතු යම් ශබ්ද තියෙනවාද, ඔබ දැන් ඒවා අසන්නේත් නැතිනම්, අසන්නට ඕනේ කියලා ඔබට හිතෙන්නෙත් නැත්නම්, ඒ ශබ්ද කෙරෙහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ තියෙනවාද?” “ස්වාමීනී, එය නොවේ ම යි.” “ඔබ ආඝ්‍රාණය නොකරපු, කලිනුත් ආඝ්‍රාණය නොකරපු, නාසයෙන් දත යුතු යම් ගඳ-සුවඳ තියෙනවාද, ඔබ දැන් ඒවා ආඝ්‍රාණය කරන්නේත් නැතිනම්, ආඝ්‍රාණය කරන්න ඕනේ කියලා ඔබට හිතෙන්නෙත් නැත්නම්, ඒ ගඳ-සුවඳ කෙරෙහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ තියෙනවාද?” “ස්වාමීනී, එය නොවේ ම යි.”
“ඔබ රස නොවිඳපු, කලිනුත් රස නොවිඳපු, දිවෙන් දත යුතු යම් රස තියෙනවාද, ඔබ දැන් ඒවා රස විඳින්නේත් නැතිනම්, රස විඳින්නට ඕනේ කියලා ඔබට හිතෙන්නේත් නැත්නම්, ඒ රස කෙරෙහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ තියෙනවාද?” “ස්වාමීනී, එය නොවේ ම යි.” “ඔබ පහස නොවිඳපු, කලිනුත් පහස නොවිඳපු, කයෙන් දත යුතු යම් පහස තියෙනවාද, ඔබ දැන් ඒවා විඳින්නේත් නැතිනම්, පහස විඳින්නට ඕනේ කියලා ඔබට හිතෙන්නේත් නැත්නම්, ඒ පහස කෙරෙහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ තියෙනවාද?” “ස්වාමීනී, එය නොවේමයි.” “ඔබ නොසිතපු, කලිනුත් නොසිතපු, මනසින් දත යුතු යම් අරමුණු තියෙනවාද, ඔබ දැන් ඒවා සිතන්නේත් නැතිනම්, සිතන්නට ඕනේ කියලා ඔබට හිතෙන්නේත් නැත්නම්, ඒ අරමුණු කෙරෙහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ තියෙනවාද?” “ස්වාමීනී, එය නොවේ ම යි.”
“පින්වත් මාලුංක්‍යපුත්ත, මෙකරුණෙහිලා ඔබට දැකපු, අසපු, ආඝ්‍රාණය කරපු, රස විඳපු, පහස විඳපු, සිතපු දේවල්වලදී දැකපු දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) දැකීම් මාත්‍රයක් ම වන්නේ ය. ඇසූ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) ඇසීම් මාත්‍රයක් ම වන්නේ ය. ආඝ්‍රාණය කරපු දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) ආඝ්‍රාණ මාත්‍රයක් ම වන්නේ ය. රස වින්ඳ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) රස විඳීම් මාත්‍රයක් ම වන්නේ ය. පහස ලැබූ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) පහස විඳීම් මාත්‍රයක් ම වන්නේ ය. සිතූ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) සිතීම් මාත්‍රයක් ම වන්නේ ය. පින්වත් මාලුංක්‍යපුත්ත, යම් දවසක ඔබට දැකපු, අසපු, ආඝ්‍රාණය කරපු, රස විඳපු, පහස විඳපු, සිතපු දේවල්වලදී දැකපු දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) දැකීම් මාත්‍රයක් ම වෙනවා නම්, ඇසූ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) ඇසීම් මාත්‍රයක් ම වෙනවා නම්, ආඝ්‍රාණය කරපු දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) ආඝ්‍රාණ මාත්‍රයක් ම වෙනවා නම්, රස වින්ඳ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) රස විඳීම් මාත්‍රයක් ම වෙනවා නම් පහස ලැබූ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) පහස විඳීම් මාත්‍රයක් ම වෙනවා නම්, සිතූ දෙය (කෙලෙස් ඇති නොවන පරිදි) සිතීම් මාත්‍රයක් ම වෙනවා නම්, පින්වත් මාලුංක්‍යපුත්ත, ඒ තුළින් ඔබ පවතින්නේ නෑ. යම් කලෙක මාලුංක්‍යපුත්ත එයින් ඔබ පවතින්නේ නැත්නම්, පින්වත් මාලුංක්‍යපුත්ත ඔබ එතැන නෑ. යම් කලෙක මාලුංක්‍යපුත්ත ඔබ එතැන නැත්නම්, පින්වත් මාලුංක්‍යපුත්ත ඔබ මෙතැනත් නෑ. වෙන තැනකත් නෑ. ඒ දෙක අතරෙත් නෑ. මෙය තමයි දුකෙහි අවසන් වීම.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්තව වදාරණ ලද මේ ධර්මයෙහි අර්ථය මං මේ විදිහට විස්තර වශයෙන් දන්නවා.
(ගාථාවන් ය)
1. රූපයක් දැකලා සිහි මුළාවෙන් තමන් ආසා කළ ඒ රූපය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතිනුයි එය විඳින්නේ. සිත ඒ රූපයෙහි බැසගෙන පවතිනවා. එතකොට ඔහුට රූපයෙන් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. දැඩි ලෝභයත්, වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා. ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා.
2. ශබ්දයක් අහලා සිහි මුළාවෙන් තමන් ආසා කළ ඒ ශබ්දය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතිනුයි එය විඳින්නේ. සිත ඒ ශබ්දයෙහි බැසගෙන පවතිනවා. එතකොට ඔහුට ශබ්දයෙන් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. දැඩි ලෝභයත්, වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා. ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා.
3. ගන්ධයක් ආඝ්‍රාණය කරලා සිහි මුළාවෙන් තමන් ආසා කළ ඒ ගන්ධය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතිනුයි එය විඳින්නේ. සිත ඒ ගන්ධයෙහි බැසගෙන පවතිනවා. එතකොට ඔහුට ගන්ධයෙන් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. දැඩි ලෝභයත්, වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා. ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා.
4. රසක් අනුභව කරලා සිහි මුළාවෙන් තමන් ආසා කළ ඒ රසය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතිනුයි එය විඳින්නේ. සිත ඒ රසයෙහි බැසගෙන පවතිනවා. එතකොට ඔහුට රසයෙන් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. දැඩි ලෝභයත්, වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා. ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා.
5. පහසක් විඳලා සිහි මුළාවෙන් තමන් ආසා කළ ඒ පහස සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතිනුයි එය විඳින්නේ. සිත ඒ පහසෙහි බැසගෙන පවතිනවා. එතකොට ඔහුට පහසින් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. දැඩි ලෝභයත්, වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා. ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා.
6. මනසින් අරමුණක් සිතලා සිහි මුළාවෙන් තමන් ආසා කළ ඒ අරමුණ සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතිනුයි එය විඳින්නේ. සිත ඒ අරමුණෙහි බැසගෙන පවතිනවා. එතකොට ඔහුට ඒ අරමුණෙන් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. දැඩි ලෝභයත්, වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා. ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා.
7. මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා රූපයක් දැක්කාට ඒ රූපවලට ඇලෙන්නේ නෑ. නොඇලුණු සිතිනුයි එය විඳින්නේ. ඒ රූපය තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. යම් අයුරකින් ඔහු රූපය දකිනවාද, විඳීම සේවනය කරනවාද, ඒ තුළින් භව පැවැත්ම ගෙවී යනවා. රැස් වෙන්නේ නෑ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපයේ කියලයි කියන්නේ.
8. මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා ශබ්දයක් ඇසුවාට ඒ ශබ්දවලට ඇලෙන්නේ නෑ. නොඇලුණු සිතිනුයි එය විඳින්නේ. ඒ ශබ්දය තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. යම් අයුරකින් ඔහු ශබ්දය අසනවාද, විඳීම සේවනය කරනවාද, ඒ තුළින් භව පැවැත්ම ගෙවී යනවා. රැස් වෙන්නේ නෑ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපයේ කියලයි කියන්නේ.
9. මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා ගන්ධයක් ආඝ්‍රාණය කළාට ඒ ගන්ධයට ඇලෙන්නේ නෑ. නොඇලුණු සිතිනුයි එය විඳින්නේ. ඒ ගන්ධය තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. යම් අයුරකින් ඔහු ගන්ධය ආඝ්‍රාණය කරනවාද, විඳීම සේවනය කරනවාද, ඒ තුළින් භව පැවැත්ම ගෙවී යනවා. රැස් වෙන්නේ නෑ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපයේ කියලයි කියන්නේ.
10. මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා රසක් අනුභව කළාට ඒ රසයන්ට ඇලෙන්නේ නෑ. නොඇලුණු සිතිනුයි එය විඳින්නේ. ඒ රසය තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. යම් අයුරකින් ඔහු රසය අනුභව කරනවාද, විඳීම සේවනය කරනවාද, ඒ තුළින් භව පැවැත්ම ගෙවී යනවා. රැස් වෙන්නේ නෑ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපයේ කියලයි කියන්නේ.
11. මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා පහසක් ලැබුවාට ඒ පහසට ඇලෙන්නේ නෑ. නොඇලුණු සිතිනුයි එය විඳින්නේ. ඒ පහස තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. යම් අයුරකින් ඔහු පහස ලබනවාද, විඳීම සේවනය කරනවාද, ඒ තුළින් භව පැවැත්ම ගෙවී යනවා. රැස් වෙන්නේ නෑ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපයේ කියලයි කියන්නේ.
12. මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා මනසින් අරමුණක් සිතුවාට ඒ අරමුණට ඇලෙන්නේ නෑ. නොඇලුණු සිතිනුයි එය විඳින්නේ. ඒ අරමුණ තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. යම් අයුරකින් ඔහු අරමුණක් සිතනවාද, විඳීම සේවනය කරනවාද, ඒ තුළින් භව පැවැත්ම ගෙවී යනවා. රැස් වෙන්නේ නෑ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපයේ කියලයි කියන්නේ.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්තව වදාරණ ලද මේ ධර්මයෙහි අර්ථය මම මේ විදිහට විස්තර වශයෙන් දන්නවා. සාදු! සාදු! පින්වත් මාලුංක්‍යපුත්ත, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද ධර්මය පින්වත් මාලුංක්‍යපුත්ත, ඔබ විස්තර වශයෙන් අරුත් තේරුම් ගත් අයුරු ඉතා හොඳයි.
රූපයක් දැකලා සිහි මුළාවෙන් තමන් ආසා කළ ඒ රූපය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතිනුයි එය විඳින්නේ. සිත ඒ රූපයෙහි බැසගෙන පවතිනවා. එතකොට ඔහුට රූපයෙන් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. දැඩි ලෝභයත්, වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා. ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා ….(පෙ)….
මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න ඔහු මනසින් අරමුණක් සිතුවාට ඒ අරමුණට ඇලෙන්නේ නෑ. නොඇලුණු සිතිනුයි එය විඳින්නේ. ඒ අරමුණ තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. යම් අයුරකින් ඔහු අරමුණක් සිතනවාද, විඳීම සේවනය කරනවාද, ඒ තුළින් භව පැවැත්ම ගෙවී යනවා. රැස් වෙන්නේ නෑ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපයේ කියලයි කියන්නේ.
පින්වත් මාලුංක්‍යපුත්ත, මා විසින් කෙටියෙන් පවසන ලද ධර්මයෙහි අරුත් විස්තර වශයෙන් තේරුම්ගත යුත්තේ ඒ විදිහට තමයි.
එතකොට ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. සතුටින් අනුමෝදන් වුණා. ආසනයෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැදකුණු කරලා පිටත් වෙලා ගියා. ඉතින් ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරුන් හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීර්යයෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙනකොට යම් කුල පුත්‍රයෝ යම් කිසි ලොව්තුරු අපේක්ෂාවකින් මනා කොට ගිහි ජීවිතය අත් හැරලා බුදු සසුනේ පැවිදි වුණා ද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයේදීම නොබෝ කලකින්ම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන පිණිස කළ යුතු දේ කරගත්තා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’ යි අවබෝධ වුණා. ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරුන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
සාදු! සාදු!! සාදු!!!
මාලුංක්‍යපුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M