සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.10.1. ඡ ඵස්සායතන සුත්තං

1.10.1. ස්පර්ශ ආයතන හය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මේ ස්පර්ශ ආයතන හය දමනය නො කළොත්, අකුසලයෙන් වළකා නො ගත්තොත්, රැක නො ගත්තොත්, අසංවර වුණොත්, බොහෝ දුක් ම යි ඇති කරදෙන්නේ. මේ ආයතන හය කුමක්ද?

පින්වත් මහණෙනි, ඇස නම් වූ ස්පර්ශ ආයතනය දමනය නො කළොත්, අකුසලයෙන් වළකා නො ගත්තොත්, රැක නො ගත්තොත්, අසංවර වුණොත්, බොහෝ දුක් ම යි ඇති කරදෙන්නේ. පින්වත් මහණෙනි, කන නම් වූ ස්පර්ශ ආයතනය ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසය නම් වූ ස්පර්ශ ආයතනය ….(පෙ)…. පින්වත් මහණෙනි, දිව නම් වූ ස්පර්ශ ආයතනය දමනය නො කළොත්, අකුසලයෙන් වළකා නො ගත්තොත්, රැක නො ගත්තොත්, අසංවර වුණොත්, බොහෝ දුක් ම යි ඇති කරදෙන්නේ. පින්වත් මහණෙනි, කය නම් වූ ස්පර්ශ ආයතනය ….(පෙ)…. පින්වත් මහණෙනි, මනස නම් වූ ස්පර්ශ ආයතනය දමනය නො කළොත්, අකුසලයෙන් වළකා නො ගත්තොත්, රැක නො ගත්තොත්, අසංවර වුණොත්, බොහෝ දුක් ම යි ඇති කරදෙන්නේ. පින්වත් මහණෙනි, මේ ස්පර්ශ ආයතන හය දමනය නො කළොත්, අකුසලයෙන් වළකා නො ගත්තොත්, රැක නො ගත්තොත්, අසංවර වුණොත්, බොහෝ දුක් ම යි ඇති කරදෙන්නේ.

පින්වත් මහණෙනි, මේ ස්පර්ශ ආයතන හය මනාකොට දමනය කළොත්, මනාකොට අකුසලයෙන් වළකා ගත්තොත්, මනාකොට රැක ගත්තොත්, මනාකොට සංවර වුණොත් ඉතාමත් සැපයක් ම යි ඇති කරදෙන්නේ. මේ ආයතන හය කුමක්ද?

පින්වත් මහණෙනි, ඇස නම් වූ ස්පර්ශ ආයතනය මනාකොට දමනය කළොත්, මනාකොට අකුසලයෙන් වළකා ගත්තොත්, මනාකොට රැක ගත්තොත්, මනාකොට සංවර වුණොත්, ඉතාමත් සැපයක් ම යි ඇති කරදෙන්නේ. පින්වත් මහණෙනි, කන නම් වූ ස්පර්ශ ආයතනය ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසය නම් වූ ස්පර්ශ ආයතනය ….(පෙ)…. පින්වත් මහණෙනි, දිව නම් වූ ස්පර්ශ ආයතනය මනාකොට දමනය කළොත්, මනාකොට අකුසලයෙන් වළකා ගත්තොත්, මනාකොට රැක ගත්තොත්, මනාකොට සංවර වුණොත්, ඉතාමත් සැපයක් ම යි ඇති කරදෙන්නේ. පින්වත් මහණෙනි, කය නම් වූ ස්පර්ශ ආයතනය ….(පෙ)…. පින්වත් මහණෙනි, මනස නම් වූ ස්පර්ශ ආයතනය මනාකොට දමනය කළොත්, මනාකොට අකුසලයෙන් වළකා ගත්තොත්, මනාකොට රැක ගත්තොත්, මනාකොට සංවර වුණොත්, ඉතාමත් සැපයක් ම යි ඇති කරදෙන්නේ. පින්වත් මහණෙනි, මේ ස්පර්ශ ආයතන හය දමනය කළොත්, අකුසලයෙන් වළකා ගත්තොත්, රැක ගත්තොත්, සංවර වුණොත් ඉතාමත් සැපයක් ම යි ඇති කරදෙන්නේ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා, මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙයත් වදාළා.

(ගාථාවන් ය)

1. පින්වත් මහණෙනි, ස්පර්ශ ආයතන හයක් තියෙනවා. යම්බඳු ඒ ආයතන හය තුළ අසංවර වුණොත් දුකටයි වැටෙන්නේ. යම් කෙනෙක් ඒ ආයතන හයේ සංවරභාවයක් අත් දකිනවා නම්, ශ්‍රද්ධාව දෙවැන්නා කොට වාසය කරන ඔවුන්ගේ සිත් කෙලෙස්වලින් තෙත් වෙන්නේ නෑ.

2. මනෝරම්‍ය වූ රූප දැක්කට පස්සේ, ඒ වගේම මනෝරම්‍ය නොවූ රූප දැක්කට පස්සෙත් ඒ සිත්කලු වූ රූප ගැන ඇතිවන සරාගී කල්පනා දුරු කරන්ට ඕනේ. අනිත් රූප මට අප්‍රියයි කියලා හිත දූෂ්‍ය කරගන්නෙත් නෑ.

3. ප්‍රිය වූත්, අප්‍රිය වූත්, දෙවැදෑරුම් ශබ්ද ඇසුවාට පස්සේ, ප්‍රිය වූ ශබ්දයට මුළා වෙන්නේ නෑ. ඒ වගේම අප්‍රිය වූ ශබ්දය ගැන ඇති ද්වේෂය දුරු කරන්ට ඕනේ. ඒක මට අප්‍රියයි කියලා හිත දූෂ්‍ය කරගන්නෙත් නෑ.

4. මනෝරම්‍ය වූ, මධුර වූ, සුවඳ අඝ්‍රාණය කරලා, ඒ වගේම අප්‍රිය වූ දුර්ගන්ධය ආඝ්‍රාණය කරලා, ඒ අප්‍රිය වූ දුගඳ ගැන ඇති ගැටීම දුරු කරන්ට ඕනේ. ඒ වගේම මිහිරි සුවඳට ඇදී යන ලෙස ආශාව ඇති කරගන්නෙත් නෑ.

5. රස වින්ඳ යුතු මිහිරි රසවත් දෙය අනුභව කරලා, ඒ වගේම ඇතැම් අමිහිරි දේවලුත් අනුභව කරලා, මිහිරි රසයෙහි බැසගෙන වළඳන්නේ නෑ. අමිහිරි රසයට විරුද්ධත්වයක් දක්වන්නෙත් නෑ.

6. ස්පර්ශ සුඛයෙන් පහස ලැබුණු විට එයට මත් වෙන්නේ නෑ. ඒ වගේම දුක් සහිත පහසක් ලද විට එයට කම්පා වෙන්නෙත් නෑ. සැප දුක කියන දෙවැදෑරුම් පහස ගැන උපේක්ෂාවෙන් ඉන්නවා. කිසිවෙකු සමඟ දුකට විරුද්ධ වෙන්නෙත් නෑ. සැපයට ඇලෙන්නෙත් නෑ.

7. ඇස් කන් ආදී ආයතනවලින් හඳුනාගන්නා දේවල්වලට කෙලෙස්වලින් බැඳී කල්පනා කර කර සිටීම නිසා මිනිසුන් ඉන්නේ පටු චින්තනය තුළයි. ඔවුන් කෙලෙස්වලින් බැඳී කල්පනා කර කර සිටිමින් ම සංසාරෙට වැටෙනවා. සිතේ හටගන්නා පංච කාම ගුණයන්ට බැඳුනු සෑම විතර්කයක් ම දුරු කරන්න ඕනේ. නෙක්ඛම්මය ඇසුරු කොට ම යි සිත පවත්වන්න ඕනේ.

8. ඔය විදිහට යම් දවසක සය වැදෑරුම් බාහිර අරමුණුවලදී සිත හොඳින් වැඩුවොත්, සැප දුක් පහසින් ඔහුගේ සිත කිසිසේත් කම්පා වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔබ ඒ රාග, ද්වේෂ මැඬලමින් ඉපදෙන මැරෙන සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්න.

සාදු! සාදු!! සාදු!!!

ඡ ඵස්සායතන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M