පින්වත් මහණෙනි, උද්දක රාමපුත්ත මේ විදියේ වචනයක් කියනවා.
‘මං දහමේ පරතෙරට ගිය බව දැනගෙන ඉන්නේ. මං සියල්ල ජයගත් බව දැනගෙන ඉන්නේ. මං උදුරා නොදැමූ, දුකට මුල වන තෘෂ්ණාව උදුරා දැමූ බව දැනගෙන ඉන්නේ’ කියලා.
පින්වත් මහණෙනි, උද්දක රාමපුත්ත දහමේ පරතෙරට නො ගොසින් ම යි, මං දහමේ පරතෙරට ගියා කියලා මේ වචනය කියන්නේ. සියල්ල නො දිනා ම යි, මං සියල්ල දිනුවා කියලා මේ වචනය කියන්නේ. දුකේ මුල උදුරා නො දමා ම යි, මං දුකේ මුල ඉදුරුවා කියලා මේ වචනය කියන්නේ.
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවට නම් මැනවින් ම කියනවා නම් ඔය කරුණ කියන්න පුළුවන්.
‘මං දහමේ පරතෙරට ගිය බව දැනගෙන ඉන්නේ. මං සියල්ල ජයගත් බව දැනගෙන ඉන්නේ. මං උදුරා නොදැමූ, දුකට මුල වන තෘෂ්ණාව උදුරා දැමූ බව දැනගෙන ඉන්නේ.’ කියලා
පින්වත් මහණෙනි, භික්ෂුව කොහොමද දහමේ පරතෙරට යන්නේ? පින්වත් මහණෙනි, භික්ෂුව යම් කලෙක ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ඒ ආකාරයෙන් ම දැනගත්තා නම්, එතකොට තමයි පින්වත් මහණෙනි, භික්ෂුව දහමේ පරතෙරට ගියා වෙන්නේ.
පින්වත් මහණෙනි, භික්ෂුව කොහොමද සියල්ල දිනුවා වෙන්නේ? පින්වත් මහණෙනි, භික්ෂුව යම් කලෙක ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ඒ ආකාරයෙන් ම දැනගෙන, උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වුණා නම් එතකොට තමයි පින්වත් මහණෙනි භික්ෂුව සියල්ල දිනුවා වෙන්නේ.
පින්වත් මහණෙනි, භික්ෂුව කොහොමද උදුරා නොදමන ලද දුකෙහි මුල වන තෘෂ්ණාව උදුරා දැමුවා වෙන්නේ? පින්වත් මහණෙනි, සැරව හටගත් ගෙඩිය (ගඩුව) යනු මව්පියන්ගේ ලේ අසූචියෙන් හටගත් බත්මාළු පිණිවලින් වැඩුණු, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් කරතත් බිඳෙන සුළු, වැනසීයන සුළු, සතර මහා භූතයන්ගෙන් හටගත්, මේ කයට කියන නමකි. සැරව හටගත් ගෙඩියේ මුල යනු පින්වත් මහණෙනි, මේ තණ්හාවට කියන නමකි. පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුවගේ තණ්හාව ප්‍රහීණ වුණා ද, මුලින් ම ඉදිරී ගියා ද, කරටිය සිඳුණු තල් ගසක් ම වූවා ද, සම්පූර්ණයෙන් අභාවයට පත් වූවා ද, ආයේ කවදාවත් නූපදින ස්වභාවයට පත් වුණාද, පින්වත් මහණෙනි, ඔය විදිහට යි භික්ෂුවගේ උදුරා නොදමන ලද දුක් මුල උදුරා දැමුවා වෙන්නේ.
පින්වත් මහණෙනි, උද්දක රාමපුත්ත මේ විදියේ වචනයක් කියනවා.
‘මං දහමේ පරතෙරට ගිය බව දැනගෙන ඉන්නේ. මං සියල්ල ජයගත් බව දැනගෙන ඉන්නේ. මං උදුරා නොදැමූ, දුකට මුල වන තෘෂ්ණාව උදුරා දැමූ බව දැනගෙන ඉන්නේ.’ කියලා
පින්වත් මහණෙනි, උද්දක රාමපුත්ත දහමේ පරතෙරට නො ගොසින් ම යි, මං දහමේ පරතෙරට ගියා කියලා මේ වචනය කියන්නේ. සියල්ල නො දිනා ම යි, මං සියල්ල දිනුවා කියලා මේ වචනය කියන්නේ. දුකේ මුල උදුරා නො දමා ම යි, මං දුකේ මුල ඉදුරුවා කියලා මේ වචනය කියන්නේ.
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවට නම් මැනවින් ම කියනවා නම් ඔය කරුණ කියන්න පුළුවන්.
‘මං දහමේ පරතෙරට ගිය බව දැනගෙන ඉන්නේ. මං සියල්ල ජයගත් බව දැනගෙන ඉන්නේ. මං උදුරා නොදැමූ, දුකට මුල වන තෘෂ්ණාව උදුරා දැමූ බව දැනගෙන ඉන්නේ.’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
උද්දක සූත්‍රය නිමා විය.
දසවෙනි ඡළ වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
සගය්හ සූත්‍ර දෙක, පරිහාන සූත්‍රය, පමාදවිහාරී සූත්‍රය, සංවර සූත්‍රය, සමාධි සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, න තුම්හාක සූත්‍ර දෙක, උද්දක සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විත වේ.
දෙවෙනි පණ්ණාසකය යි.
එහි වර්ගයන්ගේ පිළිවෙළ උද්දානය යි.
අවිජ්ජා වර්ගය, මිගජාල වර්ගය, ගිලාන වර්ගය, හතරවෙනි ඡන්න වර්ගය, ඡළ වර්ගය, යන මේවාට අයත් සූත්‍ර පනහකි. මෙය දෙවෙනි පණ්ණාසකය යි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M