105. සැවැත් නුවර දී …………………..
පින්වත් මහණෙනි, ඔබට මා සක්කාය ගැනත්, සක්කාය සකස්වීම ගැනත්, සක්කාය නිරුද්ධවීම ගැනත්, සක්කාය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව ගැනත් දේශනා කරන්නම්. එය හොඳින් අසා ගන්න.
පින්වත් මහණෙනි, සක්කාය කියන්නේ මොකක්ද? එයට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියලයි.
කවර පහක්ද යත්; ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධයයි. වේදනා උපාදානස්කන්ධයයි. සඤ්ඤා උපාදානස්කන්ධයයි. සංස්කාර උපාදානස්කන්ධයයි. විඤ්ඤාණ උපාදාස්කන්ධයයි. පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය කියන්නේ.
පින්වත් මහණෙනි, සක්කාය සකස්වීම කියන්නේ මොකක්ද?
පින්වත් මහණෙනි, පුනර්භවය ඇති කරදෙන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැනදී සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. ඒ කියන්නේ කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාවයි. පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය සකස්වීම කියන්නේ.
පින්වත් මහණෙනි, සක්කාය නිරුද්ධ වීම කියන්නේ මොකක්ද?
පින්වත් මහණෙනි, ඒ ත්‍රිවිධ තණ්හාවේ ම යම් ඉතිරි නැතිව නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, බැහැර කිරීමක් ඇද්ද, එයින් නිදහස් වීමක් ඇද්ද, ආල රහිත වීමක් ඇද්ද පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය නිරුද්ධ වීම කියල කියන්නේ.
පින්වත් මහණෙනි, සක්කාය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ මොකක්ද?
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කියන්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සක්කාය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M