සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.1.2. දුක්ඛ සුත්තං

1.3.1.2. දුක ගැන වදාළ දෙසුම

104. සාවත්ථියං….

104. සැවැත් නුවර දී …………………….

දුක්‌ඛඤ්‌ච වෝ භික්ඛවේ, දේසිස්සාමි දුක්‌ඛසමුදයඤ්‌ච දුක්‌ඛනිරෝධඤ්‌ච දුක්‌ඛනිරෝධගාමිනිඤ්‌ච පටිපදං. තං සුණාථ.

පින්වත් මහණෙනි, ඔබට මා දුක ගැනත්, දුකේ සකස්වීම ගැනත්, දුක නිරුද්ධවීම ගැනත්, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැනත් දේශනා කරන්නම්. එය හොඳින් අසා ගන්න.

කතමඤ්‌ච භික්ඛවේ, දුක්‌ඛං? පඤ්‌චුපාදානක්‌ඛන්‌ධාතිස්‌ස වචනීයං.

පින්වත් මහණෙනි, දුක කියන්නේ මොකක්ද? එයට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියලයි.

කතමේ පඤ්‌ච?

සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. ඉදං වුච්‌චති භික්ඛවේ, දුක්‌ඛං.

කවර පහක්ද යත්; ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධයයි. වේදනා උපාදානස්කන්ධයයි. සඤ්ඤා උපාදානස්කන්ධයයි. සංස්කාර උපාදානස්කන්ධයයි. විඤ්ඤාණ උපාදානස්කන්ධයයි. පින්වත් මහණෙනි, මෙයට තමයි දුක කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, දුක්‌ඛසමුදයෝ? යායං තණ්‌හා පෝනෝභවිකා නන්‌දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‌දිනී, සෙය්‍යථීදං. කාමතණ්‌හා, භවතණ්‌හා, විභවතණ්‌හා. අයං වුච්‌චති භික්ඛවේ, දුක්‌ඛසමුදයෝ.

පින්වත් මහණෙනි, දුකේ සකස්වීම කියන්නේ මොකක්ද?

පින්වත් මහණෙනි, පුනර්භවය ඇති කරදෙන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැනදී සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. ඒ කියන්නේ කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාවයි. පින්වත් මහණෙනි, මෙයට තමයි දුකේ සකස්වීම කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, දුක්‌ඛනිරෝධෝ? යෝ තස්‌සායේව තණ්‌හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්‌සග්‌ගෝ මුත්‌ති අනාලයෝ. අයං වුච්‌චති භික්ඛවේ, දුක්‌ඛනිරෝධෝ.

පින්වත් මහණෙනි, දුක නිරුද්ධ වීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, ඒ ත්‍රිවිධ තණ්හාවේ ම යම් ඉතිරි නැතිව නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, බැහැර කිරීමක් ඇද්ද, එයින් නිදහස් වීමක් ඇද්ද, ආල රහිත වීමක් ඇද්ද පින්වත් මහණෙනි, මෙයට තමයි දුක නිරුද්ධ වීම කියල කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, දුක්‌ඛනිරෝධගාමිනී පටිපදා? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්‌ගෝ. සෙය්‍යථීදං. සම්‌මාදිට්‌ඨි ….(පෙ)…. සම්‌මාසමාධි. අයං වුච්‌චති භික්ඛවේ, දුක්‌ඛනිරෝධගාමිනී පටිපදාති.

පින්වත් මහණෙනි, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කියන්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. පින්වත් මහණෙනි, මෙයට තමයි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M