සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.1.1. අන්ත සුත්තං

1.3.1.1. අන්තය ගැන වදාළ දෙසුම

103. සාවත්ථියං….

103. සැවැත් නුවර දී ………………………….

චත්තාරෝ මේ භික්ඛවේ, අන්‌තා. කතමේ චත්තාරෝ?

සක්‌කායන්‌තෝ, සක්‌කායසමුදයන්‌තෝ, සක්‌කායනිරෝධන්‌තෝ, සක්‌කායනිරෝධගාමිනීපටිපදන්‌තෝ.

පින්වත් මහණෙනි, මේ අන්ත සතරක් තියෙනවා. කවර සතරක්ද යත්, සක්කාය කියල අන්තයක් තියෙනවා. සක්කාය සකස්වීම කියල අන්තයක් තියෙනවා. සක්කාය නිරුද්ධ වීම කියල අන්තයක් තියෙනවා. සක්කාය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියල අන්තයක් තියෙනවා.

කතමෝ ච භික්ඛවේ, සක්‌කායන්‌තෝ? පඤ්‌චුපාදානක්‌ඛන්‌ධාතිස්‌ස වචනීයං.

පින්වත් මහණෙනි, සක්කාය අන්තය කියන්නේ මොකක්ද? එයට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියලයි.

කතමේ පඤ්‌ච? සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ, වේදනූපාදානක්‌ඛන්ධෝ, සඤ්‌ඤූපාදානක්‌ඛන්ධෝ, සංඛාරූපාදානක්‌ඛන්ධෝ, විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. අයං වුච්‌චති භික්ඛවේ, සක්‌කායන්‌තෝ.

කවර පහක්ද යත්; ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධයයි. වේදනා උපාදානස්කන්ධයයි. සඤ්ඤා උපාදානස්කන්ධයයි. සංස්කාර උපාදානස්කන්ධයයි. විඤ්ඤාණ උපාදානස්කන්ධයයි. පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය අන්තය කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, සක්‌කායසමුදයන්තෝ? යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී. සෙය්‍යථීදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. අයං වුච්‌චති භික්ඛවේ, සක්‌කායසමුදයන්තෝ.

පින්වත් මහණෙනි, සක්කාය සකස්වීමේ අන්තය කියන්නේ මොකක්ද?

පින්වත් මහණෙනි, පුනර්භවය ඇති කර දෙන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැනදී සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. ඒ කියන්නේ කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාවයි. පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය සකස්වීමේ අන්තය කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, සක්‌කායනිරෝධන්‌තෝ? යෝ තස්‌සායේව තණ්‌හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්‌සග්‌ගෝ මුත්‌ති අනාලයෝ. අයං වුච්‌චති භික්ඛවේ, සක්‌කායනිරෝධන්‌තෝ.

පින්වත් මහණෙනි, සක්කාය නිරුද්ධ වීමේ අන්තය කියන්නේ මොකක්ද?

පින්වත් මහණෙනි, ඒ ත්‍රිවිධ තණ්හාවේ ම යම් ඉතිරි නැතිව නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, බැහැර කිරීමක් ඇද්ද, එයින් නිදහස් වීමක් ඇද්ද, ආල රහිත වීමක් ඇද්ද පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය නිරුද්ධ වීමේ අන්තය කියල කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, සක්‌කායනිරෝධගාමිනී‌පටිපදන්‌තෝ? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්‌ගෝ. සෙය්‍යථීදං. සම්‌මාදිට්‌ඨි, සම්‌මාසංකප්‌පෝ, සම්‌මාවාචා, සම්‌මාකම්‌මන්‌තෝ, සම්‌මාආජීවෝ, සම්‌මාවායාමෝ, සම්‌මාසති, සම්‌මාසමාධි. අයං වුච්‌චති භික්ඛවේ, සක්‌කායනිරෝධගාමිනීපටිපදන්‌තෝ. ඉමේ ඛෝ භික්ඛවේ, චත්තාරෝ අන්‌තාති.

පින්වත් මහණෙනි, සක්කාය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදා අන්තය මොකක්ද?

ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කියන්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. පින්වත් මහණෙනි, මෙයට තමයි සක්කාය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදා අන්තය කියන්නේ. පින්වත් මහණෙනි, මෙයට තමයි අන්ත සතර කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

අන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M