96. සැවැත් නුවර දී ……………………
එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ වදාළා.
“ස්වාමීනි, යම් රූපයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි රූපයක් ඇද්ද? යම් විඳීමක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි විඳීමක් ඇද්ද? යම් සඤ්ඤාවක් …. (පෙ) …. යම් සංස්කාරයන් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි සංස්කාර ඇද්ද? යම් විඤ්ඤාණයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද?”
“පින්වත් භික්ෂුව, යම් රූපයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි රූපයක් නැත …. (පෙ) …. යම් විඳීමක් …. (පෙ) …. යම් සඤ්ඤාවක් …. (පෙ) …. යම් සංස්කාරයන් …. (පෙ) …. යම් විඤ්ඤාණයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි විඤ්ඤාණයක් නැත.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉතා කුඩා ගොම ගුලියක් ශ්‍රී හස්තයෙන් රැගෙන අර භික්ෂුවට මෙකරුණ වදාළා. “පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයක්වත් ආත්මභාව ප්‍රතිලාභයක් නෑ. හැබැයි පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් ආත්මභාව ප්‍රතිලාභයක් යම් හෙයකින් තිබුණා නම්, මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්න ලැබෙන්නෙ නෑ. පින්වත් භික්ෂුව, යම් කරුණක් නිසා නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් ආත්මභාව ප්‍රතිලාභයක් නැද්ද, අන්න ඒ නිසාමයි මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්න ලැබෙන්නෙ.
පින්වත් භික්ෂුව, මේක ඉස්සර වෙච්ච දෙයක්. මං ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටියා. පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොට අසූහාරදාහක් නගර තිබුණා.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට ධර්මප්‍රාසාදය ප්‍රමුඛ කොට අසූහාරදාහක් ප්‍රාසාදයන් තිබුණා.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට මහා ව්‍යූහ කූටාගාරය ප්‍රමුඛ කොට අසූහාරදාහක් කූටාගාර තිබුණා.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට රාජාසන අසූහාරදහක් තිබුණා. ඇත්දළවලින් කැටයම් කරපුවා, අරටුවලින් කැටයම් කරපුවා, රනින් කැටයම් කරපුවා, රිදියෙන් කැටයම් කරපුවා තිබුණා. ඒවා වටිනා පළස් අතුරළා, සුදු එළු ලොමින් කළ කම්බිලි අතුරළා, ඝන එළු ලොමින් කළ කම්බිලි අතුරළා, කදලි මුව සමින් කළ පළස් අතුරළා, උඩුවියන් බැඳලා, රතු විල්ලුද කොට්ටවලින් සරසලා තිබුණේ.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට උපෝසථ කියන වටිනා හස්තිරාජයා ප්‍රමුඛ කොට ඇතුන් අසූහාරදාහක් හිටියා. ඔවුන් රන් අභරණවලින් සරසලා, රන් ධජ නංවලා, රන් දැල් පොරොවලයි හිටියේ.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට වළාහක අශ්වරාජයා ප්‍රමුඛ කොට අසුන් අසූහාරදාහක් හිටියා. ඔවුන් රන් අභරණවලින් සරසලා, රන් ධජ නංවලා, රන් දැල් පොරොවලයි හිටියේ.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට වෛජයන්ත රථය ප්‍රමුඛ කොට රථ අසූහාරදාහක් තිබුණා. ඒවා රන් අභරණවලින් සරසලා, රන් ධජ නංවලා, රන් දැලින් සරසලයි තිබුණේ.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට මිණිරුවන් ප්‍රමුඛ කොට අසූහාරදාහක් මාණික්‍යයන් තිබුණා.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට මහිලාවන් අසූහාරදාහක් හිටියා.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට පුත්‍ර මාණික්‍යය ප්‍රමුඛ කොට ක්ෂත්‍රිය රජවරු අසූහාරදාහක් හිටියා.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට දුහුල් ඇතිරිලිවල නිදන රිදී බඳුන් පුරවා කිරිදෙන ගව දෙනුන් අසූහාරදාහක් හිටියා.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට වස්ත්‍ර කෝටි අසූහාරදාහක් තිබුණා. සියුම් කොමු වස්ත්‍රයි තිබුණේ. සියුම් කසීසළුයි තිබුණේ. සියුම් කම්බිලි තිබුණේ. සියුම් කපු වස්ත්‍රයි තිබුණේ.
පින්වත් භික්ෂුව, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජකෙනෙක් වෙලා හිටිය මට උදෑසනටත් සවස් කාලයටත් බත් පුරවා රැගෙන එන බත් බඳුන් අසූහාරදාහක් තිබුණා.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ යම් නගරයක වාසය කරනවා නම් අන්න ඒ කුසාවතී නගරය තමයි අසූහාර දාහක් ඒ නගර අතුරින් එකම නගරය වුණේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ යම් ධර්මප්‍රාසාදයක වාසය කරනවා නම් අන්න ඒ ධර්මප්‍රාසාදය තමයි අසූහාර දාහක් ඒ ප්‍රාසාද අතුරින් එකම ප්‍රාසාදය වුණේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ යම් මහාව්‍යූහ කූටාගාරයක වාසය කරනවා නම් අන්න ඒ මහාව්‍යූහ කූටාගාරය තමයි අසූහාර දාහක් ඒ කූටාගාර අතුරින් එකම කූටාගාරය වුණේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ ඇත්දළවලින් කරපු හෝ අරටුවලින් කරපු හෝ රනින් කරපු හෝ රිදියෙන් කරපු හෝ යම් රාජාසනයක් පරිහරණය කරනවා නම් අන්න ඒ රාජාසනය තමයි රාජාසන අසූහාර දාහ අතුරින් එකම එක වෙන්නේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ යම් උපෝසථ ඇත් රජෙකුගේ පිට උඩ නගිනවාද, අන්න ඒ ඇතා තමයි ඇතුන් සුවාසූදහසක් අතුරින් එකම එක ඇතා වෙන්නේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ යම් වළාහක අස් රජෙකුගේ පිට උඩ නගිනවාද, අන්න ඒ අසු තමයි අසුන් සුවාසූදහසක් අතුරින් එකම එක අශ්වයා වෙන්නේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ යම් රථයකට නගිනවාද, අන්න ඒ වෛජයන්ත රථය තමයි රථ සුවාසූදහසක් අතුරින් එකම එක රථය වෙන්නේ.
පින්වත් භික්ෂුව, මට ඒ කාලේ යම් ස්ත්‍රියක් උපස්ථාන කළා නම් ඈ තමයි ස්ත්‍රීන් සුවාසූදහසක් අතුරින් එකම එක ක්ෂත්‍රිය හෝ වේලාමික ස්ත්‍රිය වෙන්නේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ සියුම් කොමු වස්ත්‍ර වේවා, සියුම් කසී වස්ත්‍ර වේවා, සියුම් කම්බිලි වේවා, සියුම් කපු වස්ත්‍ර වේවා යම් වස්ත්‍ර යුගලක් හඳිනවා නම්, අන්න ඒ වස්ත්‍ර යුගල තමයි කෙළසුවාසූදහසක් අතුරින් එකම එක වස්ත්‍ර යුගල වෙන්නේ.
පින්වත් භික්ෂුව, මං ඒ කාලේ යම් බඳුනකින් ගත් බතුත්, ඊට සරිලන වෑංජනත් වැළඳුවාද, අන්න ඒ අහර බඳුන තමයි සුවාසූදහසක් ආහාර බඳුන් අතුරින් එකම එක ආහාර බඳුන වෙන්නේ.
ඉතින් පින්වත් භික්ෂුව, ඔය විදිහට හැම සංස්කාරයක්ම අතීතයට ගියා. නිරුද්ධ වෙලා ගියා. විපරිණාමයට ගොදුරු වුණා. ඔය විදිහට පින්වත් භික්ෂුව, සංස්කාර නම් අනිත්‍ය ම යි. ඔය විදිහට පින්වත් භික්ෂුව, සංස්කාර නම් අස්ථිර ම යි. ඔය විදිහට පින්වත් භික්ෂුව, සංස්කාර නම් අස්වැසිලි රහිත ම යි. එනිසා පින්වත් භික්ෂුව, යම් මේ සියලු සංස්කාර ඇද්ද, මේවා ගැන අවබෝධයෙන්ම කලකිරෙන්නයි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.
සාදු! සාදු!! සාදු!!!
ගෝමයපිණ්ඩූපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M