90. ඒ දිනවල බොහෝ ස්ථවිර භික්ෂූන් වහන්සේලා බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මිගදාය වනසෙනසුනෙහි වාසය කළා. එදා ආයුෂ්මත් ඡන්න තෙරුන් සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට යතුරත් රැගෙන විහාරයෙන් විහාරයට පැමිණිලා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ස්ථවිරයන් වහන්ස, මට අවවාද දෙන සේක්වා! ප්‍රිය ආයුෂ්මත් ස්ථවිරයන් වහන්ස, මට අනුශාසනා කරන සේක්වා! ප්‍රිය ආයුෂ්මත් ස්ථවිරයන් වහන්ස, මං ධර්මය අවබෝධ කරන්නේ යම් අයුරකින් නම් ඒ විදිහට මට ධර්ම කථාව කරන සේක්වා!”
ඒ විදිහට කිව්වහම ස්ථවිර භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ඡන්න තෙරුන්ට මෙකරුණ පවසා සිටියා. “ප්‍රිය ආයුෂ්මතුනි, රූපය කියන්නෙ අනිත්‍ය දෙයක්. වේදනාවත් අනිත්‍යයි. සඤ්ඤාවත් අනිත්‍යයි. සංස්කාරත් අනිත්‍යයි. විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒ වගේ ම රූපය අනාත්මයි. වේදනාවත් අනාත්මයි. සඤ්ඤාවත් අනාත්මයි. සංස්කාරත් අනාත්මයි. විඤ්ඤාණයත් අනාත්මයි. හැම සංස්කාරයක් ම අනිත්‍යයි. හැමදෙයක් ම අනාත්මයි” කියලා.
එතකොට ආයුෂ්මත් ඡන්නයන්ට මේ විදිහට හිතුණා. “ඔය කරුණ ගැන මට හිතෙන්නෙත් ඔය විදිහට ම යි. රූපය කියන්නෙ අනිත්‍ය දෙයක්. වේදනාවත් අනිත්‍යයි. සඤ්ඤාවත් අනිත්‍යයි. සංස්කාරත් අනිත්‍යයි. විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒ වගේ ම රූපය අනාත්මයි. වේදනාවත් අනාත්මයි. සඤ්ඤාවත් අනාත්මයි. සංස්කාරත් අනාත්මයි. විඤ්ඤාණයත් අනාත්මයි. හැම සංස්කාරයක්ම අනිත්‍යයි. හැම දෙයක්ම අනාත්මයි කියලා. ඒ වුණාට සිය සංස්කාර සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම බැහැර වුණ, තණ්හාව ක්ෂය වුණ, විරාගී වූ තණ්හා නිරෝධය වන ඒ අමා නිවනෙහි මගේ සිත බැසගන්නෙ නැහැ නෙව. පහදින්නෙත් නෑ නෙව. පිහිටන්නෙත් නෑ නෙව. නිදහස් වෙන්නෙත් නෑ නෙව. තැති ගැනීම් සහිත, බැඳීමක් නෙ උපදින්නෙ. මනස ආයෙමත් අනෙක් පැත්තට හැරිල එනවා. මගේ කවර ආත්මයක් ද හැසිරෙන්නේ කියලා. ධර්මය අවබෝධ වෙන කෙනෙකුට එහෙම වෙන්න බැහැ. අනේ, මං යම් අයුරකින් ධර්මය අවබෝධ කරනවා නම්, ඒ විදිහට මට කවුරුනම් ධර්මය දේශනා කරාවිද?”
ඉතින් ආයුෂ්මත් ඡන්නයන්ට මේ අදහස ඇතිවුණා. “මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩඉන්නෙ. ශාස්තෘන් වහන්සේ විසිනුත් සංවර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගරු බුහුමන් දක්වනවා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නම් යම් අයුරකින් මං ධර්මය දකිනවා නම් ඒ විදිහට ධර්මය දේශනා කරන්නට පුළුවන්කමක් තියෙන කෙනෙක්. අනික මට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගැන ඒ තරම්ම විශ්වාසයකුත් තියෙනවා. දැන් මට කරන්න තියෙන්නේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ළඟට යන එක තමයි.”
ඉතින් ආයුෂ්මත් ඡන්නයන් සේනාසනය අස්පස් කරලා පාසිවුරුත් අරගෙන කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩසිටි ආයුෂ්මත් ආනන්දයන් වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ආනන්දයන් සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ඡන්නයන් ආයුෂ්මත් ආනන්දයන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, මං එතකොට හිටියේ බරණැස ඉසිපතන නම් වූ මිගදාය වනසෙනසුනේ. එදා මං සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට යතුරත් රැගෙන විහාරයෙන් විහාරයට පැමිණිලා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් ස්ථවිරයන් වහන්ස, මට අවවාද දෙන සේක්වා! ප්‍රිය ආයුෂ්මත් ස්ථවිරයන් වහන්ස, මට අනුශාසනා කරන සේක්වා! ප්‍රිය ආයුෂ්මත් ස්ථවිරයන් වහන්ස, මං ධර්මය අවබෝධ කරන්නේ යම් අයුරකින් නම් ඒ විදිහට මට ධර්ම කථාව කරන සේක්වා!’ කියලා.
ඒ විදිහට කිව්වහම ස්ථවිර භික්ෂූන් වහන්සේලා මට මෙකරුණ පවසා සිටියා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, රූපය කියන්නෙ අනිත්‍ය දෙයක්. වේදනාවත් අනිත්‍යයි. සඤ්ඤාවත් අනිත්‍යයි. සංස්කාරත් අනිත්‍යයි. විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒ වගේම රූපය අනාත්මයි. වේදනාවත් අනාත්මයි. සඤ්ඤාවත් අනාත්මයි. සංස්කාරත් අනාත්මයි. විඤ්ඤාණයත් අනාත්මයි. හැම සංස්කාරයක්ම අනිත්‍යයි. හැම දෙයක්ම අනාත්මයි’ කියලා.
එතකොට මට මේ විදිහට හිතුණා. ‘ඔය කරුණ ගැන මට හිතෙන්නෙත් ඔය විදිහට ම යි. රූපය කියන්නෙ අනිත්‍ය දෙයක්. වේදනාවත් අනිත්‍යයි. සඤ්ඤාවත් අනිත්‍යයි. සංස්කාරත් අනිත්‍යයි. විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒ වගේම රූපය අනාත්මයි. වේදනාවත් අනාත්මයි. සඤ්ඤාවත් අනාත්මයි. සංස්කාරත් අනාත්මයි. විඤ්ඤාණයත් අනාත්මයි. හැම සංස්කාරයක්ම අනිත්‍යයි. හැම දෙයක්ම අනාත්මයි’ කියලා.
ඒ වුණාට සියලු සංස්කාර සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම බැහැර වුණ, තණ්හාව ක්ෂය වුණ, විරාගී වූ තණ්හා නිරෝධය වන ඒ අමා නිවනෙහි මගේ සිත බැසගන්නෙ නැහැ නෙව. පහදින්නෙත් නෑ නෙව. පිහිටන්නෙත් නෑ නෙව. නිදහස් වෙන්නෙත් නෑ නෙව. තැති ගැනීම් සහිත, බැඳීමක් නෙ උපදින්නෙ. මනස ආයෙමත් අනෙක් පැත්තට හැරිල එනවා. මගේ කවර ආත්මයක් ද හැසිරෙන්නේ කියලා. ධර්මය අවබෝධ වෙන කෙනෙකුට එහෙම වෙන්න බැහැ. අනේ, මං යම් අයුරකින් ධර්මය අවබෝධ කරනවා නම්, ඒ විදිහට මට කවුරුනම් ධර්මය දේශනා කරාවිද?’ කියලා.
ඉතින් මට මේ අදහස ඇතිවුණා. ‘මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩඉන්නෙ. ශාස්තෘන් වහන්සේ විසිනුත් සංවර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගරු බුහුමන් දක්වනවා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නම් යම් අයුරකින් මං ධර්මය දකිනවා නම් ඒ විදිහට ධර්මය දේශනා කරන්නට පුළුවන්කමක් තියෙන කෙනෙක්. අනික මට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගැන ඒ තරම්ම විශ්වාසයකුත් තියෙනවා. දැන් මට කරන්න තියෙන්නේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ළඟට යන එක තමයි.’ ප්‍රිය ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, මට අවවාද දෙන සේක්වා! ප්‍රිය ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, මට අනුශාසනා කරන සේක්වා! ප්‍රිය ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, මං ධර්මය අවබෝධ කරන්නේ යම් අයුරකින් නම් ඒ විදිහට මට ධර්ම කථාව කරන සේක්වා!”
“මෙපමණකින් ම අපි ආයුෂ්මත් ඡන්නයන් ගැන සතුටු වෙනවා. ආයුෂ්මත් ඡන්නයන් අපට ආරාධනා කරනවා නෙව. ආයුෂ්මත් ඡන්නයන් විවෘතභාවයට පත්වුණා. මාන හුල බින්දා. ප්‍රිය ආයුෂ්මත් ඡන්නයෙනි, සවන් යොමු කරන්න. ධර්මය අවබෝධ කරන්නට ඔබ දැන් සුදුසුයි. ආයුෂ්මත් ඡන්නයන්ට එපමණකින් ම උදාර වූ ප්‍රීති ප්‍රමුදිත බවක් උපන්නා. ‘අනේ මමත් ධර්මය අවබෝධ කරන්නට සුදුසු කෙනෙක් නේද’ කියලා.
ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කච්චානගොත්ත භික්ෂුවට ධර්මාවවාද වදාරද්දී භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී ම යි මේ දෙසුම මං ඇසුවේ. සමීපයේදී ම යි මං පිළිගත්තේ. ‘පින්වත් කච්චාන, මේ ලෝක සත්වයා වනාහී බොහෝ සෙයින් ම ‘ඇත’ යන මතයත්, ‘නැත’ යන මතයත් දෙක තමයි ඇසුරු කරන්නේ. පින්වත් කච්චාන, මේ (ජීවිතය නම් වූ) ලෝකයේ සකස් වීම ඒ වූ ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට ලෝකය පිළිබඳව ‘නැත’ කියල කියන යම් මතයක් ඇත්නම් ඒක නැතිවෙලා යනවා. පින්වත් කච්චාන, ලෝකයේ නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට ලෝකය පිළිබඳව ‘ඇත’ කියල කියන යම් මතයක් ඇත්නම් ඒක නැතිවෙලා යනවා. පින්වත් කච්චාන, මේ ලෝක සත්වයා බොහෝ සෙයින්ම බැසගෙනයි ඉන්නේ. බැඳිලයි ඉන්නේ. දැඩිව බැසගෙනයි ඉන්නේ. දැඩිව බැඳිලයි ඉන්නේ. නමුත් (දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින කෙනා) මේ බැසගැනීමක් ඇද්ද, බැඳීමක් ඇද්ද, සිතෙන් කළ අදිටනක් ඇද්ද, දැඩිව බැසගැනීමක් ඇද්ද, එයට පැමිණෙන්නෙ නෑ. එයට බැඳෙන්නෙත් නෑ. ‘මාගේ ආත්මය’ කියලා අදිටන් කරන්නෙත් නෑ. උපදිනවා නම් උපදින්නේ දුක විතරක්ම බවත්, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නෙත් දුකම බවත් යන මේ කරුණ ගැන සැක කරන්නෙ නෑ. විචිකිච්ඡා කරන්නෙ නෑ. ඔය පිළිබඳව බාහිර උපකාරයකින් තොරව තමන් තුළ ම අවබෝධ ඥානයක් තියෙනවා. පින්වත් කච්චාන, ඔපමණකින් ම සම්මා දිට්ඨිය තියෙනවා.
පින්වත් කච්චාන, සියල්ල ඇත කියන මේ මතය එක අන්තයක්. සියල්ල නැත කියන මේ මතය දෙවෙනි අන්තයයි. පින්වත් කච්චාන, ඔය මත දෙකටම නොපැමිණීමෙන් තමයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇති වෙනවා. විඤ්ඤාණය හේතු කොට ගෙන නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කොට ගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කොට ගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කොට ගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කොට ගෙන විපාක පිණිස කර්ම සකස් වීම ඇතිවෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම හේතු කොට ගෙන ඉපදීම ඇතිවෙනවා. ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ, සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇතිවෙනවා. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක්ඛස්කන්ධයම සකස් වෙන්නේ.
ඒ අවිද්‍යාවම ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයටයි මේ මුළුමහත් දුක්ඛස්කන්ධයම නිරුද්ධ වෙන්නේ.”
ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, ආයුෂ්මතුන් වහන්සේ වැනි යම් කෙනෙකුන්ට අනුකම්පාවෙන් යහපත කැමැතිව අවවාද කරන, අනුශාසනා කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා නම් ඔය විදිහම තමයි දැන් ප්‍රිය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මට ධර්මය අවබෝධ වුණා.
සාදු! සාදු!! සාදු!!!
ඡන්න සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M