88. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වු වේළුවනාරාමයේ. ඒ දිනවල ආයුෂ්මත් අස්සජී තෙරුන් රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා, කස්සපක ආරාමයේ වැඩසිටියා.
එදා ආයුෂ්මත් අස්සජී තෙරුන් උපස්ථායක භික්ෂූන් ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි එන්න. ඔබ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට යන්න. ගිහින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරන්න. ‘ස්වාමීනි, අස්සජී භික්ෂුව රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා ඉන්නවා. ඒ අස්සජී භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරනවා.’ මේ විදිහටත් කියන්න. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අස්සජී භික්ෂුව සිටින තැනට අනුකම්පා උපදවාගෙන වැඩමවා වදාරණ සේක් නම්, ඉතා යහපති’ කියල.”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි” කියල ඒ භික්ෂූන් ආයුෂ්මත් අස්සජීට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, අස්සජී භික්ෂුව රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා ඉන්නවා. ඒ අස්සජී භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරනවා. මෙහෙමත් කියනවා. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අස්සජී භික්ෂුව සිටින තැනට අනුකම්පා උපදවාගෙන වැඩමවා වදාරණ සේක් නම්, ඉතා යහපති’ කියල.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එය පිළිගෙන වදාළා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා සිවුරු හැඳ පොරොවා ගෙන, පාසිවුරුත් ගෙන ආයුෂ්මත් අස්සජී සිටි තැනට වැඩම කළා. ආයුෂ්මත් අස්සජී තෙරුන් දුරින්ම වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේව දැකලා ඇඳෙන් නැගිටින්නට උත්සාහ කළා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අස්සජී තෙරුන්ට මෙකරුණ වදාළා. “කමක් නැහැ පින්වත් අස්සජී, ඔබ ඇඳෙන් නැගිටින්නට උත්සාහ ගන්නට එපා. මෙතැන ආසන පණවලා තියෙනවා නෙව. මං මෙතැන වාඩිවෙන්නම්” කියලා භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. එසේ වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අස්සජී තෙරුන්ගෙන් මෙය විමසා වදාළා.
“පින්වත් අස්සජී, දැන් ඔබට කොහොමද? ඉවසන්නට පුළුවන්ද? කොහොමද යැපෙන්නට පුළුවන්ද? කොහොමද ඔබේ දුක් වේදනා අඩුවීමක් තියෙනවාද? වැඩිවීමක් දකින්නට නෑ නේද?”
“අනේ ස්වාමීනි, මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මගේ දුක් වේදනා බොහෝ සෙයින්ම වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නෙ නෑ.”
“ඇයි පින්වත් අස්සජී? කිසියම් පසුතැවිල්ලක් නැද්ද? කිසියම් විපිළිසර බවක් නැද්ද? අනේ ස්වාමීනි, හැබෑවටම මට ස්වල්ප පසුතැවිල්ලක් නොවෙයි තියෙන්නේ. ස්වල්ප විපිළිසරබවක් නොවෙයි තියෙන්නේ.”
“ඇයි පින්වත් අස්සජී, ඔබට සිල්වත් බව පිළිබඳව තමාගෙන් ම චෝදනා ලැබෙනවාද?” “අනේ නෑ ස්වාමීනි, මට සිල්වත් බව පිළිබඳව තමාගෙන් චෝදනා ලැබෙන්නේ නෑ.”
“ඉදින් පින්වත් අස්සජී, සිල්වත් බව පිළිබඳව ඔබට තමාගෙන්ම චෝදනා නොලැබෙනවා නම්, එහෙම එකේ ආයෙමත් ඔබ මොනවාට පසුතැවිලි වෙනවාද? මොනවාට විපිළිසර වෙනවාද?”
“අනේ ස්වාමීනි, මං මේ අසනීප වෙන්නට කලින් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවාගෙන වාසය කළේ. නමුත් ඒ මං දැන් ඒ සමාධිය ලබන්නෙ නෑ. ඉතින් ස්වාමීනි, මට ඒ සමාධිය ලැබෙන්නෙ නැති කොට මෙහෙම හිතෙනවා. ‘මේ මාව පිරිහිලා යනවා නොවේද’ කියලා.”
“පින්වත් අස්සජී, යම් ශ්‍රමණබ්‍රාහ්මණවරු ඉන්නවා. සමාධිය ම සාරය වශයෙන් ගන්නවා. මහණකම වශයෙන් හිතන්නෙත් සමාධිය විතරයි. අන්න ඒ උදවියට නම් සමාධිය නොලැබෙන කොට ඔය විදිහට හිතෙනවා. ‘අපි පිරිහිලා යනවා නොවේද’ කියලා.
පින්වත් අස්සජී, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
“එහෙම නම් පින්වත් අස්සජී, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්න ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.
පින්වත් අස්සජී, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.
ඒ රහත් භික්ෂුව ඉදින් සැප විඳීමක් නම් විඳින්නේ ඒක අනිත්‍ය බව දැනගන්නවා. එහි සිත බැසගන්නේ නැති බවත් දැනගන්නවා. ඒ විඳීම සිතින් නොපිළිගන්නා බවත් දැනගන්නවා. ඉදින් දුක් විඳීමක් නම් විඳින්නේ ඒක අනිත්‍ය බව දැනගන්නවා. එහි සිත බැසගන්නේ නැති බවත් දැනගන්නවා. ඒ විඳීම සිතින් නොපිළිගන්නා බවත් දැනගන්නවා. ඉදින් දුක්සැප රහිත විඳීමක් නම් විඳින්නේ ඒක අනිත්‍ය බව දැනගන්නවා. එහි සිත බැසගන්නේ නැති බවත් දැනගන්නවා. ඒ විඳීම සිතින් නොපිළිගන්නා බවත් දැනගන්නවා.
ඉතින් ඒ රහත් භික්ෂුව ඉදින් සැප විඳීමක් නම් විඳින්නේ ඒ විදීමත් සමඟ එක් නොවී සිටියදීමයි එය විඳින්නේ. ඉදින් දුක් විඳීමක් නම් විඳින්නේ ඒ විඳීමත් සමඟ එක් නොවී සිටියදීමයි එය විඳින්නේ. ඉදින් දුක් සැප රහිත විඳීමක් නම් විඳින්නේ ඒ විඳීමත් සමග එක් නොවී සිටියදීමයි එය විඳින්නේ. ඒ රහත් භික්ෂුව ඉදින් කය තිබෙන කල් විතරක් තිබෙන විඳීමක් විඳින විට මං කය තිබෙනකල් විතරක් තිබෙන විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. ඉදින් ජීවිතය තිබෙනකල් විතරක් තිබෙන විඳීමක් විඳින විට මං ජීවිතය තිබෙනකල් විතරක් තිබෙන විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. කය බිඳීමෙන් පසු ජීවිතය නිමා වීමෙන් නොපිළිගෙන සිටින මේ හැම වේදනාවක් ම මෙහිදීම සිහිල් වී සංසිඳී යන බව දැනගන්නවා.
පින්වත් අස්සජී, ඒක මේ වගේ දෙයක්. තෙලත් නිසා, වැටියත් නිසා තමයි තෙල් පහන දැල්වෙන්නේ. ඒ තෙලත් වැටියත් අවසන් වුණාම ආහාර නැති වීමෙන් පහන නිවිලා යනවා. පින්වත් අස්සජී, අන්න ඒ විදිහටම ඒ රහත් භික්ෂුව ඉදින් කය තිබෙනකල් විතරක් තිබෙන විඳීමක් විඳින විට මං කය තිබෙනකල් විතරක් තිබෙන විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. ඉදින් ජීවිතය තිබෙනකල් විතරක් තිබෙන විඳීමක් විඳින විට මං ජීවිතය තිබෙනකල් විතරක් තිබෙන විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. කය බිඳීමෙන් පසු ජීවිතය නිමා වීමෙන් නොපිළිගෙන සිටින මේ හැම වේදනාවක්ම මෙහිදීම සිහිල් වී සංසිඳී යන බව දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
අස්සජී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M