80. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයේ ය. එදා භාග්‍යවතුන් වහන්සේ යම්කිසි කරුණක් අරඹයා භික්ෂු සංඝයාව බැහැර කොට වදාළා. පෙරවරු කාලයෙහි සිවුරු පොරවාගෙන පාත්‍ර සිවුරු රැගෙන කිඹුල්වතට පිඬු සිඟා වැඩම කළා. කිඹුල්වත් නගරයෙහි පිණ්ඩපාතයෙහි වැඩම කරලා, දන් වළඳලා කිඹුල්වත් මහා වනයට දිවා විහරණය පිණිස වැඩම කළා. මහාවනය ඇතුළටම වැඩම කොට බෙලිරුක් සෙවණක දිවා විහරණය පිණිස වාඩි වී වැඩසිටියා.
එකල්හී හුදෙකලාවේම භාවනාවෙන් වැඩසිටින්නා වූ භාග්‍යවතුන් වහන්සේට මෙවැනි කල්පනාවක් ඇතිවුණා. ‘මා විසින් භික්ෂු සංඝයාව බැහැර කරල දැම්මා. එසේ නමුත් නවක භික්ෂූන් ඉන්නවා. පැවිදි වෙලා වැඩිකල් නෑ. මේ ධර්ම විනයට ළඟඳීම පැමිණි අයයි. අන්න ඒ නවක භික්ෂූන්ට මාව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. සිතේ පෙරළියක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. ඒක මේ විදිහේ දෙයක්. ඉතා ළදරු වසුපැටව් ඉන්නවා. ඒ වසු පැටියෙකුට මව් දෙනව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇතිවෙනවාමයි. සිතේ පෙරළියක් ඇතිවෙනවාමයි. ඒ විදිහටම මෙහෙත් නවක භික්ෂූන් ඉන්නවා. පැවිදි වෙලා වැඩිකල් නෑ. මේ ධර්ම විනයට ළඟදීම පැමිණි අයයි. අන්න ඒ නවක භික්ෂූන්ට මාව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. සිතේ පෙරළියක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. ඒක මේ විදිහේ දෙයක්. අලුතෙන් හිටවපු බීජ තියෙනවා. ඒවාට වතුර නොලැබුණොත් වෙනසක් ඇතිවෙනවා ම යි. පෙරළියක් ඇතිවෙනවා ම යි. ඒ විදිහට ම මෙහෙත් නවක භික්ෂූන් ඉන්නවා. පැවිදි වෙලා වැඩිකල් නෑ. මේ ධර්ම විනයට ළඟදීම පැමිණි අයයි. අන්න ඒ නවක භික්ෂූන්ට මාව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. සිතේ පෙරළියක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මා විසින් කලින් භික්ෂු සංඝයාට යම් අනුග්‍රහයක් කළා ද දැනුත් මං භික්ෂු සංඝයාට ඒ විදිහට ම අනුග්‍රහ කරන එක තමයි හොඳ.’
එතකොට සහම්පතී බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේගේ අදහස තමාගේ සිතෙන් දැනගත්තා. බලවත් පුරුෂයෙක් හකුළුවා ගත් අතක් දිගහරින වේගයෙන් දිගු කළ අතක් හකුළා ගන්නා වේගයෙන් බඹ ලොවින් අතුරුදහන් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ පහළ වුණා.
ඉතින් සහම්පතී බ්‍රහ්මයා උතුරු සළුව ඒකාංශ කරගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඇඳිලි බැඳ වන්දනා කරගෙන භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භාග්‍යවතුන් වහන්ස, ඔය සිතා වදාළ කරුණ ඒ විදිහමයි. සුගතයන් වහන්ස, ඔය සිතා වදාළ කරුණ ඒ විදිහමයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාව බැහැර කොට වදාළා. එසේ නමුත් නවක භික්ෂුන් ඉන්නවා. පැවිදි වෙලා වැඩිකල් නෑ. මේ ධර්ම විනයට ළඟදීම පැමිණි අයයි. අන්න ඒ නවක භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. සිතේ පෙරළියක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. ඒක මේ විදිහේ දෙයක් තමයි. ඉතා ළදරු වසුපැටව් ඉන්නවා. ඒ වසු පැටියෙකුට මව් දෙනව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇති වෙනවා මයි. සිතේ පෙරළියක් ඇතිවෙනවා ම යි. ඒ විදිහම තමයි. මෙහෙත් නවක භික්ෂූන් ඉන්නවා. පැවිදි වෙලා වැඩිකල් නෑ. මේ ධර්ම විනයට ළඟදීම පැමිණි අයයි. අන්න ඒ නවක භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. සිතේ පෙරළියක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. ඒක මේ විදිහේ දෙයක් තමයි. අලුතෙන් හිටවපු බීජ තියෙනවා. ඒවාට වතුර නොලැබුණොත් වෙනසක් ඇතිවෙනවා ම යි. පෙරළියක් ඇතිවෙනවා ම යි. ඒ විදිහම තමයි. මෙහෙත් නවක භික්ෂූන් ඉන්නවා. පැවිදි වෙලා වැඩිකල් නෑ. මේ ධර්ම විනයට ළඟදීම පැමිණි අයයි. අන්න ඒ නවක භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේව දැකගන්නට නොලැබුණොත් වෙනසක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. සිතේ පෙරළියක් ඇතිවෙන්නට ඉඩ තියෙනවා.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයාව පිළිගන්නා සේක්වා! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා හට ධර්මාවවාද කරන සේක්වා! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් භික්ෂු සංඝයා හට යම් අනුග්‍රහයක් කොට වදාළේ ද දැනුත් ඒ අයුරින් ම භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා”
භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එය පිළිගෙන වදාළා. එතකොට සහම්පතී බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම පිළිගෙන වදාළ බව දැනගෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල, ප්‍රදක්ෂිණා කරලා එතැනම නොපෙනී ගියා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා නිග්‍රෝධාරාමයට වැඩම කොට වදාළා. වැඩම කරලා පණවන ලද ආසනයෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් එක නම, දෙනම බැගින් තැතිගන්නා ස්වරූපයෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණෙනවා නම් එබඳු වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කොට වදාළා.
ඒ භික්ෂූන් වහන්සේලා ද එකනම, දෙනම බැගින් තැති ගත් ස්වරූපයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩි වී සිටි ඒ භික්ෂූන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
“පින්වත් මහණෙනි, මේ පිණ්ඩපාතයෙන් ජීවත් වෙනවා කියන කරුණ ඉතාමත් ළාමක කොට සළකන දෙයක්. ‘පාත්තරයක් අතට අරන් පිණ්ඩපාතෙ පල!’ කියල කීම ලෝකයෙහි සාපලත් දෙයක්. නමුත් පින්වත් මහණෙනි, යම් අර්ථයක් උදෙසා, යම් අර්ථයක් හේතුවෙන් එබඳු වූ ජීවිතයක් කරා පවා කුල පුත්‍රයන් පැමිණෙනවා. ඒ පැමිණීම ආණ්ඩුවෙන් දඬුවම් ලබලත් නොවෙයි. සොරුන්ගෙන් කරදර වෙලත් නොවෙයි. ණය ගෙවාගන්නට බැරුවත් නොවෙයි. භයට පත්වෙලත් නොවෙයි. ජීවත් වෙන්නට ක්‍රමයක් නැතුවත් නොවෙයි. එසේ නමුත් අපි ඉපදීමෙනුත්, ජරා මරණයෙනුත්, සෝකවලිනුත්, වැළපීම්වලිනුත්, කායික දුක්වලිනුත්, මානසික දුක්වලිනුත්, සුසුම් හෙළීම්වලිනුත් කරදරයේ වැටිලයි ඉන්නේ. දුකට වැටිලයි ඉන්නේ. දුකෙන් පෙළි පෙළී ඉන්නේ. මේ මුළු මහත් දුක් සමූහය ම ඉවරයක් කරල දාන්නට තිබෙනවා නම් මොනතරම් දෙයක් ද කියලයි පැමිණෙන්නෙ.
පින්වත් මහණෙනි, ඔය විදිහට පැවිදි වුණ මේ කුල පුත්‍රයෙක් ඉන්නවා. නමුත් ඔහු අනුන්ගේ දෙය තමා සතු කරගැනීමට ආසා කරන කෙනෙක් වුණොත්, කාම අරමුණු පිළිබඳව තියුණු රාගයක් තියෙන කෙනෙක් වුණොත්, ද්වේෂ කරන සිතක් තියෙන කෙනෙක් වුණොත්, දූෂිත වූ නපුරු කල්පනාවන් තියෙන කෙනෙක් වුණොත්, සිහි මුලා වෙච්ච කෙනෙක් වුණොත්, නුවණින් තොර කෙනෙක් වුණොත්, සමාහිත සිතක් නැති කෙනෙක් වුණොත්, භ්‍රාන්ත සිතින් යුතු කෙනෙක් වුණොත්, සාමාන්‍ය ස්වභාවයෙන් ම ඉඳුරන් පවත්වන කෙනෙක් වුණොත්, පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සොහොන් පෙණෙල්ලක් තියෙනවා. දෙපැත්තෙම ගිනි ඇවිලිලා තියෙන්නේ. මැද අසූචි තැවරිලා තියෙන්නේ. ඒක ගමේ දරට ගන්නෙත් නෑ. වනාන්තරයේ දරවලට අයිති වෙන්නෙත් නෑ. පින්වත් මහණෙනි, මං අර පුද්ගලයාව සළකන්නේ සොහොන් පෙණෙල්ල උපමා කරලයි. ඔහු ගිහි සැපයෙනුත් පිරිහුණු කෙනෙක්. ශ්‍රමණ ජීවිතයෙනුත් ප්‍රතිඵල නොලබන කෙනෙක්.
පින්වත් මහණෙනි, මේ අකුසල විතර්ක තුනක් තියෙනවා. කාම අරමුණු ගැන කල්පනා කර කර සිටීම, ද්වේෂ අරමුණු ගැන කල්පනා කර කර සිටීම, හිංසාකාරී දේ ගැන කල්පනා කර කර සිටීම යන තුනයි. පින්වත් මහණෙනි, මේ අකුසල විතර්ක තුන ම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන්නේ කොතැනදීද? එක්කෝ සතර සතිපට්ඨානයෙහි මනාකොට සිත පිහිටුවා ගෙන වාසය කරන කෙනා තුළයි. එහෙම නැත්නම් අනිමිත්ත චිත්ත සමාධිය වඩන කෙනා තුළයි.
පින්වත් මහණෙනි, ඔය අනිමිත්ත සමාධිය නම් භාවනා වශයෙන් වඩන එක ම යි හොඳ. පින්වත් මහණෙනි, අනිමිත්ත චිත්ත සමාධිය භාවනා වශයෙන් බහුල කළොත් මහත්ඵලයි මහානිශංසයි.
පින්වත් මහණෙනි, මේ දෘෂ්ටි දෙකක් තියෙනවා. භව දෘෂ්ටියත්, විභව දෘෂ්ටියත් යන දෙකයි. පින්වත් මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවණින් විමසා බලනවා. ‘මං යම්කිසි දෙයකට බැඳීමක් ඇති කර ගත්තොත්, එයින් මට වරදක් සිදු නොවනවා නම් එබඳු දෙයක් ලෝකයෙහි තිබෙනවාද’ කියල. එතකොට ඔහු මේ විදිහට තේරුම් ගන්නවා. මං යම්කිසි දෙයකට බැඳීමක් ඇති කර ගත්තොත්, එයින් මට වරදක් සිදු නොවනවා නම් එබඳු දෙයක් ලෝකයෙහි නැත. මං බැඳීමක් ඇති කරගන්නවා නම් රූපයකට ම යි බැඳෙන්න තියෙන්නේ. බැඳීමක් ඇති කර ගන්නවා නම් වේදනාවකට ම යි බැඳෙන්න තියෙන්නේ. බැඳීමක් ඇති කර ගන්නවා නම් සඤ්ඤාවකට ම යි බැඳෙන්න තියෙන්නේ. බැඳීමක් ඇති කර ගන්නවා නම් සංස්කාරවලට ම යි බැඳෙන්න තියෙන්නේ. බැඳීමක් ඇති කර ගන්නවා නම් විඤ්ඤාණයකට ම යි බැඳෙන්න තියෙන්නේ. එතකොට මට ඒ බැඳීම හේතු කරගෙන භවය සකස් වෙලා යාවි. භවය හේතු කරගෙන ඉපදේවි. ඉපදීම හේතු කරගෙන ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගනීවි. ඔය ආකාරයට මේ මුළුමහත් දුක්ඛස්කන්ධය ම හටගනීවි.
පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.” “යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ‘එය මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.” වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.” “යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ‘එය මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
“එහෙම නම් පින්වත් මහණෙනි, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක් ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තියෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක් ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්න නැතිව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසරවාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පිණ්ඩෝල්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M