79. සැවැත් නුවරදී ……….
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, නොයෙක් ආකාරයෙන් තමන් කලින් ගත කළ ජීවිත ගැන සිහි කරන විටදී සිහි කරනවා නම් ඔවුන් සියලු දෙනාම පංච උපාදානස්කන්ධයන්මයි සිහි කරන්නේ. එක්කෝ ඒ උපාදානස්කන්ධයන්ගෙන් කිහිපයක්.
පින්වත් මහණෙනි, පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන අය ‘මං අතීත කාලෙ මෙන්න මේ විදිහේ රූපයක් ඇතුවයි හිටියේ’ කියල රූපමයි සිහි කරන්නේ. එහෙම නැත්නම් පින්වත් මහණෙනි, පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන අය ‘මං අතීත කාලෙ මෙන්න මේ විදිහේ විඳීමක් ඇතුවයි හිටියේ’ කියල වේදනාවමයි සිහි කරන්නේ. එහෙමත් නැත්නම් පින්වත් මහණෙනි, පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන අය ‘මං අතීත කාලෙ මෙන්න මේ විදිහේ සඤ්ඤාවක් ඇතුවයි හිටියේ’ කියල සඤ්ඤාවමයි සිහි කරන්නේ. එක්කෝ පින්වත් මහණෙනි, පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන අය ‘මං අතීත කාලෙ මෙන්න මේ විදිහේ සංස්කාරයන් ඇතුවයි හිටියේ’ කියල සංස්කාරමයි සිහි කරන්නේ. පින්වත් මහණෙනි, පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන අය ‘මං අතීත කාලෙ මෙන්න මේ විදිහේ විඤ්ඤාණයක් ඇතුවයි හිටියේ’ කියල විඤ්ඤාණයමයි සිහි කරන්නේ.
පින්වත් මහණෙනි, රූපය කියල කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි, කැඩී බිඳී යනවා ය යන අරුතින් තමයි රූපය කියල කියන්නේ. කුමකින්ද කැඩී බිඳී යන්නේ? සීතලෙනුත් කැඩී බිඳී යනවා. උෂ්ණයෙනුත් කැඩී බිඳී යනවා. බඩගින්දරෙනුත් කැඩී බිඳී යනවා. පිපාසයෙනුත් කැඩී බිඳී යනවා. මැසිමදුරු අව්සුළං සර්පයන් ආදී ස්පර්ශයෙනුත් කැඩී බිඳී යනවා. පින්වත් මහණෙනි, කැඩී බිඳී යනවා ය යන අරුතින් තමයි රූපය කියල කියන්නේ.
පින්වත් මහණෙනි, වේදනාව කියල කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි, විඳිනවා ය යන අර්ථයෙන් තමයි වේදනාව කියල කියන්නේ. විඳින්නේ කුමක්ද? සැපත් විඳිනවා. දුකත් විඳිනවා. දුක් සැප රහිත බවත් විඳිනවා. පින්වත් මහණෙනි, විඳිනවා ය යන අර්ථයෙන් තමයි වේදනාව කියල කියන්නේ.
පින්වත් මහණෙනි, සඤ්ඤාව කියල කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි, හඳුනා ගන්නවා ය යන අර්ථයෙන් තමයි සඤ්ඤාව කියල කියන්නේ. හඳුනාගන්නේ කුමක්ද? නිල් පැහැයත් හඳුනාගන්නවා. කහ පැහැයත් හඳුනාගන්නවා. රතු පැහැයත් හඳුනාගන්නවා. සුදු පැහැයත් හඳුනාගන්නවා. පින්වත් මහණෙනි, හඳුනා ගන්නවා ය යන අර්ථයෙන් තමයි සඤ්ඤාව කියල කියන්නේ.
පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි, හේතුඵල දහමින් සකස් වුණ දෙයක් (සංඛතයක්) නැවත එබඳු දෙයක් පිණිසම විශේෂයෙන් සකස් කරනවා (අභිසංස්කරණය කරනවා) ය යන අර්ථයෙන් තමයි සංස්කාර කියල කියන්නේ. හේතුඵල දහමින් සකස් වුණ කවර දෙයක් නම් විශේෂයෙන් සකස් කරයිද? රූපය රූපයක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. වේදනාව වේදනාවක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. සඤ්ඤාව සඤ්ඤාවක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. සංස්කාර සංස්කාර පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. විඤ්ඤාණය විඤ්ඤාණයක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. පින්වත් මහණෙනි, හේතුඵල දහමින් සකස් වුණ දෙයක් (සංඛතයක්) නැවත එබඳු දෙයක් පිණිසම විශේෂයෙන් සකස් කරනවා (අභිසංස්කරණය කරනවා) ය යන අර්ථයෙන් තමයි සංස්කාර කියල කියන්නේ.
පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නේ මක්නිසාද? පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා ය යන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියල කියන්නේ. කවර දෙයක් නම් විශේෂයෙන් දැනගනියිද? ඇඹුල් බවත් විශේෂයෙන් දැනගන්නවා. තිත්ත බවත් විශේෂයෙන් දැනගන්නවා. කටුක බවත් විශේෂයෙන් දැනගන්නවා. මිහිරි බවත් විශේෂයෙන් දැනගන්නවා. කර රසයත් විශේෂයෙන් දැනගන්නවා. කර රස නැති බවත් විශේෂයෙන් දැනගන්නවා. ලුණු රසයත් විශේෂයෙන් දැනගන්නවා. ලුණු නොවන රසයත් විශේෂයෙන් දැනගන්නවා. පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා ය යන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියල කියන්නේ.
පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවණින් මෙනෙහි කරනවා. ‘දැන් මේ රූපය විසින් මාව කා දමනවා. අතීත කාලයේදීත් මේ රූපය විසින් මාව කා දමා ඇත්තේ මේ විදිහටමයි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් රූපය විසින් මාව කා දමන විදිහටමයි. ඉදින් යම් හෙයකින් මං අනාගත රූපයක් සතුටින් පිළිගත්තොත් අනාගත කාලයේදීත් මේ රූපය විසින් මේ විදිහට ම මාව කා දමාවි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් රූපය විසින් මාව කා දමන විදිහටමයි’ ඔහු ඔය ආකාරයෙන් නුවණින් විමස විමසා අතීතයට ගිය රූපය පිළිබඳව අපේක්ෂා රහිත වෙනවා. අනාගත රූපය නොපිළිගෙන ඉන්නවා. වර්තමාන රූපය කෙරෙහි කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ධර්මයෙහි හැසිරෙන කෙනෙක් වෙනවා.
‘දැන් මේ වේදනාව විසින් මාව කා දමනවා. අතීත කාලයේදීත් මේ වේදනාව විසින් මාව කා දමා ඇත්තේ මේ විදිහටමයි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් වේදනාව විසින් මාව කා දමන විදිහටමයි. ඉදින් යම් හෙයකින් මං අනාගත වේදනාවක් සතුටින් පිළිගත්තොත් අනාගත කාලයේදීත් මේ වේදනාව විසින් මේ විදිහට ම මාව කා දමාවි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් වේදනාව විසින් මාව කා දමන විදිහටමයි’ ඔහු ඔය ආකාරයෙන් නුවණින් විමස විමසා අතීතයට ගිය වේදනාව පිළිබඳව අපේක්ෂා රහිත වෙනවා. අනාගත වේදනාව නොපිළිගෙන ඉන්නවා. වර්තමාන වේදනාව කෙරෙහි කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ධර්මයෙහි හැසිරෙන කෙනෙක් වෙනවා.
‘දැන් මේ සඤ්ඤාව විසින් මාව කා දමනවා. ….(පෙ)…. දැන් මේ සංස්කාර විසින් මාව කා දමනවා. අතීත කාලයේදීත් මේ සංස්කාර විසින් මාව කා දමා ඇත්තේ මේ විදිහටමයි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් සංස්කාර විසින් මාව කා දමන විදිහටමයි. ඉදින් යම් හෙයකින් මං අනාගත සංස්කාරයන් සතුටින් පිළිගත්තොත් අනාගත කාලයේදීත් මේ සංස්කාර විසින් මේ විදිහට ම මාව කා දමාවි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් සංස්කාර විසින් මාව කා දමන විදිහටමයි’ ඔහු ඔය ආකාරයෙන් නුවණින් විමස විමසා අතීතයට ගිය සංස්කාර පිළිබඳව අපේක්ෂා රහිත වෙනවා. අනාගත සංස්කාර නොපිළිගෙන ඉන්නවා. වර්තමාන සංස්කාර කෙරෙහි කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ධර්මයෙහි හැසිරෙන කෙනෙක් වෙනවා.
‘දැන් මේ විඤ්ඤාණය විසින් මාව කා දමනවා. අතීත කාලයේදීත් මේ විඤ්ඤාණය විසින් මාව කා දමා ඇත්තේ මේ විදිහටමයි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් විඤ්ඤාණය විසින් මාව කා දමන විදිහටමයි. ඉදින් යම් හෙයකින් මං අනාගත විඤ්ඤාණයක් සතුටින් පිළිගත්තොත් අනාගත කාලයේදීත් මේ විඤ්ඤාණය විසින් මේ විදිහටම මාව කා දමාවි. ඒ කියන්නේ වර්තමානයෙහි දැන් විඤ්ඤාණය විසින් මාව කා දමන විදිහටමයි’ ඔහු ඔය ආකාරයෙන් නුවණින් විමස විමසා අතීතයට ගිය විඤ්ඤාණය පිළිබඳව අපේක්ෂා රහිත වෙනවා. අනාගත විඤ්ඤාණය නොපිළිගෙන ඉන්නවා. වර්තමාන විඤ්ඤාණය කෙරෙහි කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ධර්මයෙහි හැසිරෙන කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනී, අනිත්‍යයි” “යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනී, දුකයි.” “යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම්, ‘එය මගේ’ කියා හෝ ‘එය මම වෙමි’ කියා හෝ ‘එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනී, එය සුදුසු නෑ ම යි.” “වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනී, අනිත්‍යයි” “යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනී, දුකයි.” “යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම්, ‘එය මගේ’ කියා හෝ ‘එය මම වෙමි’ කියා හෝ ‘එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනී, එය සුදුසු නෑ ම යි.”
එහෙම නම් පින්වත් මහණෙනි, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැක ගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද ….(පෙ)…. ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.
පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය ශ්‍රාවකයා ඉවත් කරනවා කියලයි; රැස් කරන්නේ නෑ කියලයි. අත් හරිනවා කියලයි; බැඳෙන්නෙ නෑ කියලයි. විසුරුවනවා කියලයි; කැටි කරන්නෙ නෑ කියලයි. නිවනවා කියලයි; අවුලවන්නේ නෑ කියලයි.
කවර දෙයක්ද ඉවත් කරන්නේ? රැස් නොකරන්නේ? රූපය ඉවත් කරනවා; රැස් කරන්නේ නෑ. වේදනාව ඉවත් කරනවා; රැස් කරන්නේ නෑ. සඤ්ඤාව ඉවත් කරනවා; රැස් කරන්නේ නෑ. සංස්කාර ඉවත් කරනවා; රැස් කරන්නේ නෑ. විඤ්ඤාණය ඉවත් කරනවා; රැස් කරන්නේ නෑ.
කවර දෙයක්ද අත්හරින්නේ? නොබැඳී ඉන්නේ? රූප අත්හරිනවා; බැඳෙන්නෙ නෑ. වේදනාව අත්හරිනවා; බැඳෙන්නෙ නෑ. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර අත්හරිනවා; බැඳෙන්නෙ නෑ. විඤ්ඤාණය අත්හරිනවා; බැඳෙන්නෙ නෑ.
කවර දෙයක්ද විසුරුවා හරින්නේ? කැටි නොකරන්නේ? රූපය විසුරුවා හරිනවා; කැටි කරන්නේ නෑ. වේදනාව විසුරුවා හරිනවා; කැටි කරන්නේ නෑ. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර විසුරුවා හරිනවා; කැටි කරන්නේ නෑ. විඤ්ඤාණය විසුරුවා හරිනවා; කැටි කරන්නේ නෑ.
කවර දෙයක්ද නිවා දමන්නේ? අවුලවන්නෙ නැතුව ඉන්නේ? රූපය නිවා දමනවා; අවුලවන්නේ නෑ. වේදනාව නිවා දමනවා; අවුලවන්නේ නෑ. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර නිවා දමනවා; අවුලවන්නේ නෑ. විඤ්ඤාණය නිවා දමනවා; අවුලවන්නේ නෑ.
පින්වත් මහණෙනි. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. අවබෝධයෙන්ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත නිදහස් වෙන කොට ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.
පින්වත් මහණෙනි, මේ භික්ෂුවට කියන්නේ රැස් කරන්නේ නෑ කියලයි. ඉවත් කරන්නෙත් නෑ කියලයි. ඉවත් කරලා නොසැලී ඉන්නවා කියලයි. අත් හරින්නෙ නෑ කියලයි. බැඳෙන්නෙ නෑ කියලයි. අත්හැරලා නොසැලී ඉන්නවා කියලයි. විසුරුවන්නෙ නෑ කියලයි. කැටි කරන්නෙත් නෑ කියලයි. විසුරුවලා නොසැලී ඉන්නවා කියලයි. නිවන්නෙත් නෑ කියලයි. අවුලවන්නෙත් නෑ කියලයි. නිවිලා නොසැලී ඉන්නවා කියලයි.
රැස් කරන්නෙ නැත්තෙත්, ඉවත් නොකරන්නෙත්, ඉවත් කරල නොසැලී සිටින්නෙත් කවර දෙයක්ද? රූපය රැස් කරන්නෙ නෑ. ඉවත් කරන්නෙ නෑ. ඉවත් කරලා නොසැලී ඉන්නවා. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය රැස් කරන්නෙ නෑ. ඉවත් කරන්නෙ නෑ. ඉවත් කරලා නොසැලී ඉන්නවා.
අත්හරින්නෙ නැත්තෙත්, බැඳී යන්නෙ නැත්තෙත්, අත්හැරල නොසැලී සිටින්නෙත් කවර දෙයක්ද? රූපය අත්හරින්නෙ නෑ. බැඳී යන්නෙත් නෑ. අත්හැරලා නොසැලී ඉන්නවා. වේදනාව අත්හරින්නෙ නෑ. බැඳී යන්නෙත් නෑ. අත්හැරලා නොසැලී ඉන්නවා. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය අත්හරින්නෙ නෑ. බැඳී යන්නෙත් නෑ. අත්හැරලා නොසැලී ඉන්නවා.
විසුරුවන්නෙ නැත්තෙත්, කැටි කරන්නෙ නැත්තෙත්, විසුරුවලා නොසැලී සිටින්නෙත් කවර දෙයක්ද? රූපය විසුරුවන්නෙ නෑ. කැටි කරන්නෙත් නෑ. විසුරුවලා නොසැලී ඉන්නවා. වේදනාව විසුරුවන්නෙ නෑ. කැටි කරන්නෙත් නෑ. විසුරුවලා නොසැලී ඉන්නවා. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය විසුරුවන්නෙ නෑ. කැටි කරන්නෙත් නෑ. විසුරුවලා නොසැලී ඉන්නවා.
නිවා දමන්නෙ නැත්තෙත් අවුලුවන්නෙ නැත්තෙත් නිවලා නොසැලී සිටින්නෙත් කවර දෙයක්ද? රූපය නිවා දමන්නෙ නෑ. අවුලුවන්නෙත් නෑ. නිවලා නොසැලී ඉන්නවා. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය නිවා දමන්නෙ නෑ. අවුලුවන්නෙත් නෑ. නිවලා නොසැලී ඉන්නවා.
පින්වත් මහණෙනි, ඔය විදිහට විමුක්තියට පත් වූ සිතක් ඇති භික්ෂුවට සක් දෙවිඳු සහිත වූ බ්‍රහ්මයා සහිත වූ ප්‍රජාපතී සහිත වූ දෙවිවරුන් ඈත තියාම නමස්කාර කරනවා.
“ආජානීය පුරුෂයාණෙනි, ඔබවහන්සේට නමස්කාර වේවා! උතුම් පුරුෂයාණෙනි, ඔබවහන්සේට නමස්කාර වේවා! යමක් ඇසුරු කරගෙන ඔබවහන්සේ ධ්‍යාන වඩද්දී ඒ අරමුණ මොකක්ද කියලා අපි දන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ඛජ්ජනීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M