82. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමග වැඩසිටියේ මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එදා උපෝසථ දිනය වූ පසළොස්වක පුන් පොහෝ දවසයි. එදා බුදුරජාණන් වහන්සේ ඒ පුන් සඳ ඇති රාත්‍රියෙහි භික්ෂු සංඝයා පිරිවරා ගෙන එළිමහනේ වාඩිවෙලා වැඩසිටියා.
එතකොට එක්තරා භික්ෂුවක් ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කොට පොරොවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිශාවට ඇඳිලි බැඳ වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නට කිසියම් කාරණාවක් තියෙනවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම් ප්‍රශ්නයක් විමසීමටයි තියෙන්නේ.” “පින්වත් භික්ෂුව, එහෙමනම් ඔබ ඔය ආසනේ ම වාඩිවෙලා යමක් කැමති නම් එය අහන්න.”
“එසේය ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. තමන්ගේ ආසනයේ වාඩිවුණා. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළා. “ස්වාමීනි, පංච උපාදානස්කන්ධය කියන්නේ මේවාට නේද? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධයටයි නේද?” “පින්වත් භික්ෂුව, ඔය පංච උපාදානස්කන්ධය තමයි. ඒ කියන්නෙ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධයයි.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටෙන් පිළිගත්තා. අනුමෝදන් වුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ කුමක් මුල්වෙලාද?” “පින්වත් භික්ෂුව, මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ කැමැත්ත මුල්වෙලයි.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටෙන් පිළිගත්තා. අනුමෝදන් වුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, උපාදානය බවට පත්වෙන්නේ ඔය පංච උපාදානස්කන්ධයමද? එහෙම නැත්නම් උපාදානය බවට පත්වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයක්ද?” “පින්වත් භික්ෂුව, ඒ පංච උපාදානස්කන්ධය ඒ උපාදානය ම වෙනවත් නොවෙයි. පංච උපාදානස්කන්ධයෙන් බැහැර වෙච්ච දෙයක් උපාදානය වෙනවත් නොවෙයි. පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දරාගයක් ඇද්ද අන්න ඒක තමයි එතැන තියෙන උපාදානය.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටෙන් පිළිගත්තා. අනුමෝදන් වුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති ඡන්දරාගයේ වෙනස්කම් තියෙනවාද?” “පින්වත් භික්ෂුව, වෙනස්කම් තියෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා ඇතැම් කෙනෙකුට මෙහෙම හිතෙනවා. ‘මට අනාගතයේ මේ මේ ආකාරයේ රූපයක් ඇතිව ඉන්නට ඇත්නම්. මට අනාගතයේ මේ මේ ආකාරයේ විඳීමක් ඇතිව ඉන්නට ඇත්නම්, මට අනාගතයේ මේ මේ ආකාරයේ සඤ්ඤාවක් ඇතිව ඉන්නට ඇත්නම්, මට අනාගතයේ මේ මේ ආකාරයේ සංස්කාර ඇතිව ඉන්නට ඇත්නම්, මට අනාගතයේ මේ මේ ආකාරයේ විඤ්ඤාණයක් ඇතිව ඉන්නට ඇත්නම්’ ඔය විදිහට පින්වත් භික්ෂුව, පංච උපාදානස්කන්ධය පිළිබඳව ඡන්දරාගයෙහි වෙනසක් තියෙනවා ම යි.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටෙන් පිළිගත්තා. අනුමෝදන් වුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, ස්කන්ධවලට ඔය ස්කන්ධ කියන නම ලැබුණේ කවර පදනමක් මතද?” “පින්වත් භික්ෂුව, අතීත අනාගත වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද මෙයට තමයි රූපස්කන්ධය කියල කියන්නේ. යම්කිසි වේදනාවක් ….(පෙ)…. යම්කිසි සඤ්ඤාවක් ….(පෙ)…. යම්කිසි සංස්කාරයක් ….(පෙ)…. අතීත අනාගත වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර හෝ ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද මෙයට තමයි විඤ්ඤාණස්කන්ධය කියල කියන්නේ.
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව ….(පෙ)…. මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, රූප ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? වේදනා ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? සඤ්ඤා ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? සංස්කාර ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? විඤ්ඤාණ ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද?” “පින්වත් භික්ෂුව, රූප ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට එන්නට හේතුව වුණේ සතර මහා භූතයනුයි. ප්‍රත්‍ය වුණෙත් සතර මහා භූතයනුයි. වේදනා ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට එන්නට හේතුව වුණේ ස්පර්ශයයි. ප්‍රත්‍ය වුණෙත් ස්පර්ශයයි. සඤ්ඤා ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට එන්නට හේතුව වුණේ ස්පර්ශයයි. ප්‍රත්‍ය වුණෙත් ස්පර්ශයයි. සංස්කාර ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට එන්නට හේතුව වුණේ ස්පර්ශයයි. ප්‍රත්‍ය වුණෙත් ස්පර්ශයයි. විඤ්ඤාණ ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට එන්නට හේතුව වුණේ නාමරූපයි. ප්‍රත්‍ය වුණෙත් නාමරූපයි.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව ….(පෙ)…. මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, සක්කාය දිට්ඨිය ඇතිවෙන්නේ කොහොමද?” “පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ රූපය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට මුළාවෙන් දකිනවා. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන මුළාවෙන් දකිනවා. ආත්මය විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට මුළාවෙන් දකිනවා. පින්වත් භික්ෂුව, ඔය විදිහට තමයි සක්කාය දිට්ඨිය ඇති වන්නේ.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව ….(පෙ)…. මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කොහොමද?” “පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක්. ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි හික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා දකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන දකින්නේ නෑ. ආත්මය රූපයෙන් හැදී තිබෙන හැටියට දකින්නේ නෑ. ආත්මය තුළ රූපය තිබෙන බවට දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට දකින්නේ නෑ. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන දකින්නේ නෑ. ආත්මය විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට දකින්නේ නෑ. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට දකින්නේ නෑ. පින්වත් භික්ෂුව, ඔය විදිහට තමයි සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව ….(පෙ)…. මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, රූපයෙහි ඇති ආශ්වාදය කුමක්ද? ආදීනය කුමක්ද? නිස්සරණය කුමක්ද? වේදනාවෙහි ඇති ….(පෙ)…. සඤ්ඤාවෙහි ඇති ….(පෙ)…. සංස්කාරවල ඇති ….(පෙ)…. විඤ්ඤාණයෙහි ඇති ආශ්වාදය කුමක්ද? ආදීනය කුමක්ද? නිස්සරණය කුමක්ද?”
“පින්වත් භික්ෂුව, රූපය නිසා යම් සැපයක් උපදී නම්, යම් සොම්නසක් උපදී නම් අන්න ඒක තමයි රූපයෙහි ඇති ආශ්වාදය. යම් රූපයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයිති නම් ඒක තමයි රූපයෙහි ආදීනවය. රූපය කෙරෙහි තිබෙන ඡන්දරාගයේ යම් දුරුවීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද මේක තමයි රූපයෙහි නිස්සරණය.
වේදනාව නිසා යම් සැපයක් උපදී නම්, යම් සොම්නසක් උපදී නම් අන්න ඒක තමයි වේදනාවෙහි ඇති ආශ්වාදය. යම් වේදනාවක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයිති නම් ඒක තමයි වේදනාවෙහි ආදීනවය. වේදනාව කෙරෙහි තිබෙන ඡන්දරාගයේ යම් දුරුවීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද මේක තමයි වේදනාවෙහි නිස්සරණය. සඤ්ඤාව නිසා ….(පෙ)…. සංස්කාර නිසා යම් සැපයක් උපදී නම්, යම් සොම්නසක් උපදී නම් අන්න ඒක තමයි සංස්කාරවල ඇති ආශ්වාදය. යම් සංස්කාරයන් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයිති නම් ඒක තමයි සංස්කාරවල ආදීනවය. සංස්කාර කෙරෙහි තිබෙන ඡන්දරාගයේ යම් දුරුවීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද මේක තමයි සංස්කාරවල නිස්සරණය. විඤ්ඤාණය නිසා යම් සැපයක් උපදී නම්, යම් සොම්නසක් උපදී නම් අන්න ඒක තමයි විඤ්ඤාණයෙහි ඇති ආශ්වාදය. යම් විඤ්ඤාණයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයිති නම් ඒක තමයි විඤ්ඤාණයෙහි ආදීනවය. විඤ්ඤාණය කෙරෙහි තිබෙන ඡන්දරාගයේ යම් දුරුවීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද මේක තමයි විඤ්ඤාණයෙහි නිස්සරණය.”
“සාදු! සාදු! ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටෙන් පිළිගත්තා. අනුමෝදන් වුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි තව ප්‍රශ්නයක් ඇහුවා. “ස්වාමීනි, මොන විදිහට අවබෝධ කරගන්නා විට ද, මොන විදිහට දකිනා විට ද, මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් මම ය, මාගේ ය යන දෘෂ්ටියෙහි බැස තිබෙන මාන අනුසය ඇති නොවන්නේ?”
“පින්වත් භික්ෂුව, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දකිනවා නම්, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දකිනවා නම්, අන්න ඒ විදිහට පින්වත් භික්ෂුව, අවබෝධ කරගන්නා විට, දැකගන්නා විට, මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් මම ය, මාගේ ය යන දෘෂ්ටියෙහි බැසතිබෙන මාන අනුසය ඇති වෙන්නේ නෑ.”
එතකොට ඒ වෙලාවේදී එක්තරා භික්ෂුවකට මෙවැනි චිත්තවිතර්කයක් ඇති වුණා. ‘අහෝ භවත්නි! රූපය අනාත්ම නම්, වේදනාව අනාත්ම නම්, සඤ්ඤාව අනාත්ම නම්, සංස්කාර අනාත්ම නම්, විඤ්ඤාණය අනාත්ම නම් අනාත්ම දෙයින් කරපු කර්ම ආත්මයකට ස්පර්ශ වෙන්නේ කොහොමද?’
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුවගේ සිතේ ඇතිවුණ කල්පනාවන් තම සිතින් දැනගෙන භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මෙවැනි දේවලුත් වෙන බව පෙනෙනවා. මෙහි ඇතැම් හිස් පුරුෂයෙක් ඉන්නවා. කිසි අවබෝධයක් නැති කෙනෙක්. අවිද්‍යාව තුළම ඉඳගෙන, තණ්හාවට යට වුණු සිතින් ඉඳගෙන ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවත් ඉක්මවා යා යුතුයි කියලයි හිතාගෙන ඉන්නේ. ඔහු මෙහෙමයි හිතන්නෙ. ‘අහෝ භවත්නි! රූපය අනාත්ම නම්, වේදනාව අනාත්ම නම්, සඤ්ඤාව අනාත්ම නම්, සංස්කාර අනාත්ම නම්, විඤ්ඤාණය අනාත්ම නම් අනාත්ම දෙයින් කරපු කර්ම ආත්මයකට ස්පර්ශ වෙන්නේ කොහොමද?’ කියල. පින්වත් මහණෙනි, ඒ ඒ තන්හිදී මාගේ ඒ ඒ ධර්මයන් පිළිබඳව ඔබ හික්මිලා ඉන්නේ නුවණින් යුතුව ප්‍රශ්න කරලා ම යි.
පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය කියා’ හෝ මුලාවෙක් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය කියා’ හෝ මුලාවෙක් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
එහෙමනම් පින්වත් මහණෙනි, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පුණ්ණමා සූත්‍රය නිමා විය.
තුන්වෙනි ඛජ්ජනීය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අස්සාද සූත්‍රය, සමුදය සූත්‍ර දෙක, අනෙක් අරහන්ත සූත්‍ර දෙක, සීහ සූත්‍රය, ඛජ්ජනීය සූත්‍රය, පිණ්ඩෝලය්‍ය සූත්‍රය, පාරිලෙය්‍යක සූත්‍රය, පුණ්ණමා සූත්‍රය යන දෙසුම්වලින් මෙම වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M