60. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයෙහි තනවා තිබූ කූටාගාර ශාලාවෙහි ය. එදා මහාලි ලිච්ඡවී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා.
“ස්වාමීනී, පූර්ණ කස්සපයා මෙවැනි දෙයක් කියනවා. ‘සත්වයන්ගේ කිලිටි වීමට හේතුවක් නෑ. උපකාර වන දෙයක් නෑ. හේතූන් රහිතව ම යි, උපකාර රහිතව ම යි සත්වයන් කිලිටි වෙලා යන්නේ. සත්වයන්ගේ පිරිසිදු වීමටත් හේතුවක් නෑ. උපකාර වන දෙයක් නෑ. හේතුන් රහිතව ම යි, උපකාර රහිතව ම යි සත්වයන් පිරිසිදු වෙලා යන්නේ’ කියලා.”
“පින්වත් මහාලි, සත්වයන්ගේ කිලිටි වීමට හේතු තියෙනවා ම යි. උපකාර වන දේවල් තියෙනවා ම යි. හේතුන් සහිතව ම යි, උපකාර සහිතව ම යි සත්වයන් කිලිටි වෙලා යන්නේ. පින්වත් මහාලි, සත්වයන්ගේ පිරිසිදු වීමටත් හේතු තියෙනවා ම යි. උපකාර වන දේවල් තියෙනවා ම යි. හේතූන් සහිතව ම යි, උපකාර සහිතව ම යි සත්වයන් පිරිසිදු වෙලා යන්නේ.”
“ස්වාමීනී, සත්නයන්ගේ කිලිටි වීමට හේතු මොනවාද? උපකාර වන දේවල් මෙනවාද? හේතූන් සහිතව, උපකාර සහිතව සත්වයන් කිලිටි වෙලා යන්නේ කොහොමද?”
“පින්වත් මහාලි, ඔන්න මේ රූපය ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ දුක් විතරක් ම නම්, වැටිලා තියෙන්නෙත් දුකේ ම නම්, බැසගෙන තියෙන්නෙත් දුකේ ම නම්, සැපයේ බැසගැනීමක් ඇත්තේම නැත්නම්, මේ සත්වයන් රූපයට ඇලෙන්නේ නම් නෑ. පින්වත් මහාලි, යම් යම් කරුණු නිසා රූපයේ සැප තියෙනවා. සැපයට වැටිලත් තියෙනවා. සැපයේ බැසගෙනත් තියෙනවා. අන්න ඒ නිසයි සත්වයන් රූපයට ඇලෙන්නේ. ඇලුණාම රූපයත් එක්ක එකතු වෙනවා. එකතු වුණහම තමයි කිලිටි වෙලා යන්නේ. පින්වත් මහාලි, ඕක තමයි සත්වයන්ගේ කිලිටු වීමට හේතුව. ඕක තමයි ප්‍රත්‍යය. ඔය විදිහට හේතු සහිතව ම, ප්‍රත්‍ය සහිතව ම සත්වයන් කිලිටු වෙනවා.
පින්වත් මහාලි, ඔන්න මේ විඳීම ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ දුක විතරක් ම නම්, වැටිලා තියෙන්නෙත් දුකේ ම නම්, බැසගෙන තියෙන්නෙත් දුකේ ම නම්, සැපයේ බැසගැනීමක් ඇත්තේම නැත්නම්, මේ සත්වයන් විඳීමට ඇලෙන්නේ නම් නෑ. පින්වත් මහාලි, යම් යම් කරුණු නිසා විඳීමෙහි සැප තියෙනවා. සැපයට වැටිලත් තියෙනවා. සැපයේ බැසගෙනත් තියෙනවා. අන්න ඒ නිසයි සත්වයන් විඳීමට ඇලෙන්නේ. ඇලුණාම විඳීමත් එක්ක එකතු වෙනවා. එකතු වුණහම තමයි කිලිටි වෙලා යන්නේ. පින්වත් මහාලි, ඕක තමයි සත්වයන්ගේ කිලිටු වීමට හේතුව. ඕක තමයි ප්‍රත්‍යය. ඔය විදිහට හේතු සහිතව ම, ප්‍රත්‍ය සහිතව ම සත්වයන් කිලිටු වෙනවා.
මේ සඤ්ඤාවත් ….(පෙ)…. පින්වත් මහාලි, ඔන්න මේ සංස්කාර ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ දුක විතරක් ම නම්, වැටිලා තියෙන්නෙත් දුකේ ම නම්, බැසගෙන තියෙන්නෙත් දුකේ ම නම්, සැපයේ බැසගැනීමක් ඇත්තේම නැත්නම්, මේ සත්වයන් සංස්කාරවලට ඇලෙන්නේ නම් නෑ. පින්වත් මහාලි, යම් යම් කරුණු නිසා සංස්කාරවල සැප තියෙනවා. සැපයට වැටිලත් තියෙනවා. සැපයේ බැසගෙනත් තියෙනවා. අන්න ඒ නිසයි සත්වයන් සංස්කාරවලට ඇලෙන්නේ. ඇලුණාම සංස්කාරත් එක්ක එකතු වෙනවා. එකතු වුණහම තමයි කිලිටි වෙලා යන්නේ. පින්වත් මහාලි, ඕක තමයි සත්වයන්ගේ කිලිටු වීමට හේතුව. ඕක තමයි ප්‍රත්‍යය. ඔය විදිහට හේතු සහිතව ම, ප්‍රත්‍ය සහිතව ම සත්වයන් කිලිටු වෙනවා.
පින්වත් මහාලි, මේ විඤ්ඤාණය ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ දුක විතරක් ම නම්, වැටිලා තියෙන්නෙත් දුකේ ම නම්, බැසගෙන තියෙන්නෙත් දුකේ ම නම්, සැපයේ බැසගැනීමක් ඇත්තේම නැත්නම්, මේ සත්වයන් විඤ්ඤාණයට ඇලෙන්නේ නම් නෑ. පින්වත් මහාලි, යම් යම් කරුණු නිසා විඤ්ඤාණයෙහි සැප තියෙනවා. සැපයට වැටිලත් තියෙනවා. සැපයේ බැසගෙනත් තියෙනවා. අන්න ඒ නිසයි සත්වයන් විඤ්ඤාණයට ඇලෙන්නේ. ඇලුණාම විඤ්ඤාණයත් එක්ක එකතු වෙනවා. එකතු වුණහම තමයි කිලිටි වෙලා යන්නේ. පින්වත් මහාලි, ඕක තමයි සත්වයන්ගේ කිලිටු වීමට හේතුව. ඕක තමයි ප්‍රත්‍යය. ඔය විදිහට හේතු සහිතව ම, ප්‍රත්‍ය සහිතව ම සත්වයන් කිලිටු වෙනවා.”
“එහෙම නම් ස්වාමීනී, සත්වයන් පිරිසිදු වෙන හේතු මොනවාද? උපකාර වන දේවල් මෙනවාද? හේතූන් සහිතව, උපකාර සහිතව සත්වයන් පිරිසිදු වෙන්නේ කොහොමද?”
“පින්වත් මහාලි, ඔන්න මේ රූපය ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ සැප විතරක් ම නම්, වැටිලා තියෙන්නෙත් සැපයේ ම නම්, බැසගෙන තියෙන්නෙත් සැපයේ ම නම්, දුකෙහි බැසගැනීමක් ඇත්තේම නැත්නම්, මේ සත්වයන් රූපයට කළකිරෙන්නේ නම් නෑ. පින්වත් මහාලි, යම් යම් කරුණු නිසා රූපයේ දුක තියෙනවා. දුකට වැටිලත් තියෙනවා. දුකේ බැසගෙනත් තියෙනවා. අන්න ඒ නිසයි සත්වයන් රූපයට කළකිරෙන්නේ. කළකිරුණාම රූපයට ඇලෙන්නේ නෑ. නොඇලීම නිසයි පිරිසිදු වෙලා යන්නේ. පින්වත් මහාලි, ඕක තමයි සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුව. ඕක තමයි ප්‍රත්‍යය. ඔය විදිහට හේතු සහිතව ම, ප්‍රත්‍ය සහිතව ම සත්වයන් පිරිසිදු වෙනවා.
පින්වත් මහාලි, මේ වේදනාව ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ සැප විතරක් ම නම් ….(පෙ)…. පින්වත් මහාලි, මේ සඤ්ඤාව ….(පෙ)…. පින්වත් මහාලි, ඔන්න මේ සංස්කාර ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ සැප විතරක් ම නම්, ….(පෙ)…. පින්වත් මහාලි, මේ විඤ්ඤාණය ඒකාන්තයෙන් ම ලබාදෙන්නේ සැප විතරක් ම නම්, වැටිලා තියෙන්නෙත් සැපයේ ම නම්, බැසගෙන තියෙන්නෙත් සැපයේ ම නම්, දුකෙහි බැසගැනීමක් ඇත්තේම නැත්නම්, මේ සත්වයන් විඤ්ඤාණයට කළකිරෙන්නේ නම් නෑ. පින්වත් මහාලි, යම් යම් කරුණු නිසා විඤ්ඤාණයේ දුක තියෙනවා. දුකට වැටිලත් තියෙනවා. දුකේ බැසගෙනත් තියෙනවා. අන්න ඒ නිසයි සත්වයන් විඤ්ඤාණයට කළකිරෙන්නේ. කළකිරුණාම විඤ්ඤාණයට ඇලෙන්නේ නෑ. නොඇලීම නිසයි පිරිසිදු වෙලා යන්නේ. පින්වත් මහාලි, ඕක තමයි සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුව. ඕක තමයි ප්‍රත්‍යය. ඔය විදිහට හේතු සහිතව ම, ප්‍රත්‍ය සහිතව ම සත්වයන් පිරිසිදු වෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
මහාලි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M