සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.1.6. සම්බුද්ධ සුත්තං

1.2.1.6. සම්බුද්ධත්වය ගැන වදාළ දෙසුම

58. සැවැත් නුවර දී ……………………….

“පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳව කළකිරිලා, එහි ඇල්ම දුරුකරලා, එහි ඇල්ම නිරුද්ධ කරලා, රූපයට නොබැඳී, රූපයෙන් නිදහස් වුණ නිසයි ‘සම්මා සම්බුද්ධ’ කියල කියන්නේ. ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවත් රූපය පිළිබඳව කළකිරිලා, එහි ඇල්ම දුරුකරලා, එහි ඇල්ම නිරුද්ධ කරලා, රූපයට නොබැඳී, රූපයෙන් නිදහස් වුණ නිසා ‘පඤ්ඤාවිමුත්ත’ කියල කියනවා.

පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිළිබඳව කළකිරිලා, එහි ඇල්ම දුරුකරලා, එහි ඇල්ම නිරුද්ධ කරලා, විඤ්ඤාණයට නොබැඳී, විඤ්ඤාණයෙන් නිදහස් වුණ නිසයි ‘සම්මා සම්බුද්ධ’ කියල කියන්නේ. ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවත් විඤ්ඤාණය පිළිබඳව කළකිරිලා, එහි ඇල්ම දුරුකරලා, එහි ඇල්ම නිරුද්ධ කරලා, විඤ්ඤාණයට නොබැඳී, විඤ්ඤාණයෙන් නිදහස් වුණ නිසා ‘පඤ්ඤාවිමුත්ත’ කියලා කියනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔතැනදී තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේත් පඤ්ඤාවිමුත්ත භික්ෂුවගේත් කවර විශේෂත්වයක් ද තියෙන්නේ? කවර අදහසක් ද තියෙන්නේ? කවර විවිධත්වයක් ද තියෙන්නේ?”

“ස්වාමීනී, අපගේ ශ්‍රී සද්ධර්මය වනාහී භාග්‍යවතුන් වහන්සේ ම මුල් කොට ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ ම පිළිසරණ කොට ඇති සේක. ස්වාමීනී, සැබැවින් ම ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් ඉතා මැනැවි. භික්ෂූන් වහන්සේලා මතකයෙහි රඳවා ගන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙනයි.”

“එසේ වී නම් පින්වත් මහණෙනි, මනාකොට අසන්න. නුවණින් තේරුම් ගන්න. පවසන්නෙමි.” “එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි නූපන්නා වූ නිවන් මග උපදවන්නේ. හට නොගත්තා වූ නිවන හට ගන්වන්නේ. (දෙවි මිනිස් මාර බ්‍රහ්ම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කිසිවෙකු විසින්) නොපවසන ලද්දා වූ නිවන් මග පවසන්නේ. නිවන් මග ඉතාමත් හොඳින් දන්නවා. නිවන් මග මැනැවින් ම ප්‍රකට කරනවා. නිවන් මග පිළිබඳව අතිශයින් ම දක්ෂයි. පින්වත් මහණෙනි, ඒ නිවන් මග අනුව පසුපස යමිනුයි මෙකල ශ්‍රාවකයන් වාසය කරන්නේ.

පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේත් පඤ්ඤාවිමුත්ත භික්ෂුවගේත් විශේෂත්වය මේක තමයි. අදහස මේක තමයි. විවිධත්වයත් මේක තමයි.

සාදු! සාදු!! සාදු!!!

සම්බුද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M