සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.1.5. සත්තට්ඨාන සුත්තං

1.2.1.5. සත් තැනක අවබෝධය ගැන වදාළ දෙසුම

57. සැවැත් නුවර දී ……………………….

පින්වත් මහණෙනි, සත් තැනක් පිළිබඳව දක්ෂතාවය ඇති, තුන් ආකාරයකින් නුවණින් විමසන්නා වූ භික්ෂුව මේ ධර්ම විනය තුළ පිරිපුන් කෙනෙක් වෙනවා. බඹසර වාසය සම්පූර්ණ කළ කෙනෙක් වෙනවා. උතුම් පුරුෂයෙක් වෙනවා.

පින්වත් මහණෙනි, භික්ෂුව සත් තැනක් පිළිබඳව දක්ෂතාවය ඇති කෙනෙක් වෙන්නේ කොහොමද?

පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව රූපය අවබෝධ කරගන්නවා. රූපයේ හටගැනීම අවබෝධ කරගන්නවා. රූපය නිරුද්ධ වීම අවබෝධ කරගන්නවා. රූපය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරගන්නවා. රූපයේ ආශ්වාදය අවබෝධ කරගන්නවා. රූපයෙහි තිබෙන ආදීනව අවබෝධ කරගන්නවා. රූපයෙන් නිදහස් වීම අවබෝධ කරගන්නවා.

වේදනාව අවබෝධ කරගන්නවා. වේදනාවේ හටගැනීම අවබෝධ කරගන්නවා. වේදනාව නිරුද්ධ වීම අවබෝධ කරගන්නවා. වේදනාව නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරගන්නවා. වේදනාවෙහි ආශ්වාදය අවබෝධ කරගන්නවා. වේදනාවෙහි තිබෙන ආදීනව අවබෝධ කරගන්නවා. වේදනාවෙන් නිදහස් වීම අවබෝධ කරගන්නවා.

සඤ්ඤාව අවබෝධ කරගන්නවා ….(පෙ)…. සංස්කාර අවබෝධ කරගන්නවා. සංස්කාරවල හටගැනීම අවබෝධ කරගන්නවා. සංස්කාරවල නිරුද්ධ වීම අවබෝධ කරගන්නවා. සංස්කාර නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරගන්නවා. සංස්කාරවල ආශ්වාදය අවබෝධ කරගන්නවා. සංස්කාරවල තිබෙන ආදීනව අවබෝධ කරගන්නවා. සංස්කාරවලින් නිදහස් වීම අවබෝධ කරගන්නවා.

විඤ්ඤාණය අවබෝධ කරගන්නවා. විඤ්ඤාණයේ හටගැනීම අවබෝධ කරගන්නවා. විඤ්ඤාණයේ නිරුද්ධ වීම අවබෝධ කරගන්නවා. විඤ්ඤාණය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරගන්නවා. විඤ්ඤාණයේ ආශ්වාදය අවබෝධ කරගන්නවා. විඤ්ඤාණයේ තිබෙන ආදීනව අවබෝධ කරගන්නවා. විඤ්ඤාණයෙන් නිදහස් වීම අවබෝධ කරගන්නවා.

පින්වත් මහණෙනි, රූපය කියන්නේ මොකක්ද?

පින්වත් මහණෙනි, (පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන) මහාභූත හතරත්, ඒ සතර මහා භූතයන්ගේ උපකාරයෙන් හැදෙන්නා වූ රූපත් ය. පින්වත් මහණෙනි, මෙයට තමයි රූපය කියන්නේ. ආහාර හටගැනීමෙනුයි රූප හටගන්නේ. ආහාර නිරුද්ධ වීමෙනුයි රූප නිරුද්ධ වන්නේ. රූප නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි. රූපය නිසා යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් අන්න ඒක තමයි රූපයෙහි ආශ්වාදය. යම් රූපයක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස් වන ධර්මතාවයෙන් යුතුද මේ තමයි රූපයෙහි ආදීනවය. රූපය කෙරෙහි ඇති ඡන්දරාගයෙහි යම් දුරුකිරීමක් ඇද්ද, ඡන්දරාගයෙහි ප්‍රහාණයක් අද්ද මෙය තමයි රූපයෙන් නිදහස් වීම.

පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට රූපය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයෙහි අශ්වාදය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයෙහි ආදීනවය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයෙන් නිදහස්වීම අවබෝධ කරගෙන ඒ රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් අන්න ඒ උදවිය තමයි සුපටිපන්න වෙන්නෙ. යම් කෙනෙක් සුපටිපන්න වුණොත් ඒ උදවිය තමයි ධර්ම විනය තුළ පිහිටල ඉන්නේ.

පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට රූපය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයෙහි ආශ්වාදය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයෙහි ආදීනවය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයෙන් නිදහස්වීම අවබෝධ කරගෙන ඒ රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරිලා, ඇල්ම දුරුකරලා, තණ්හාව නිරුද්ධ කරලා කිසිවකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උදවිය තමයි සුවිමුත්ත (මනාකොට නිදහස්) වෙන්නේ. යම් කෙනෙක් සුවිමුත්ත වුණොත් ඒ උදවිය තමයි (ධර්ම විනය තුළ) පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.

පින්වත් මහණෙනි, වේදනාව කියන්නෙ මොකක්ද?

පින්වත් මහණෙනි, මේ වේදනාව හය ආකාරයකින් යුක්තයි. ඇසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කණේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. නාසයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. මනසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. පින්වත් මහණෙනි, වේදනාව කියල කියන්නෙ මෙයටයි. ස්පර්ශයේ හටගැනීමෙනුයි විඳීම හටගන්නේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි. වේදනාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් අන්න ඒක තමයි වේදනාවෙහි ආශ්වාදය. යම් වේදනාවක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස් වන ධර්මතාවයෙන් යුතුද මේක තමයි වේදනාවෙහි අදීනවය. වේදනාව කෙරෙහි ඇති ඡන්දරාගයෙහි යම් දුරුකිරීමක් ඇද්ද, ඡන්දරාගයෙහි ප්‍රහාණයක් ඇද්ද මෙය තමයි වේදනාවෙන් නිදහස් වීම.

පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට වේදනාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවෙහි ආශ්වාදය අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවෙහි ආදීනවය අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවෙන් නිදහස්වීම අවබෝධ කරගෙන, ඒ වේදනාව පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් අන්න ඒ උදවිය තමයි සුපටිපන්න වෙන්නේ. යම් කෙනෙක් සුපටිපන්න වුණොත් ඒ උදවිය තමයි මේ ධර්ම විනය තුළ පිහිටල ඉන්නේ.

පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට වේදනාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවෙහි ආශ්වාදය අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවෙහි ආදීනවය අවබෝධ කර ගෙන, ඔය ආකාරයට වේදනාවෙන් නිදහස්වීම අවබෝධ කරගෙන ඒ වේදනාව පිළිබඳව අවබෝධයෙන් ම කළකිරිලා, ඇල්ම දුරුකරලා, තණ්හාව නිරුද්ධ කරලා කිසිවකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උදවිය තමයි සුවිමුත්ත (මනාකොට නිදහස්) වෙන්නේ. යම් කෙනෙක් සුවිමුත්ත වුණොත් ඒ උදවිය තමයි (ධර්ම විනය තුළ) පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.

පින්වත් මහණෙනි, සඤ්ඤාව කියන්නෙ මොකක්ද?

පින්වත් මහණෙනි, මේ සඤ්ඤාව හය ආකාරයි. ඒ කියන්නෙ රූප හඳුනා ගන්නවා. ශබ්ද හඳුනා ගන්නවා. ගඳ සුවඳ හඳුනා ගන්නවා. රස හඳුනා ගන්නවා. පහස හඳුනා ගන්නවා. අරමුණු හඳුනා ගන්නවා යන හයයි. පින්වත් මහණෙනි, සඤ්ඤාව කියන්නේ මෙයටයි. සඤ්ඤා ….(පෙ)…. අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.

පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ මොනවාද?

පින්වත් මහණෙනි, මේ චේතනාවනුත් සය ආකාරයි. ඒ කියන්නෙ රූප පිළිබඳව චේතනා ඇතිවෙනවා. ශබ්ඳ පිළිබඳව චේතනා ඇතිවෙනවා. ගඳ සුවඳ පිළිබඳව චේතනා ඇතිවෙනවා. රස පිළිබඳව චේතනා ඇතිවෙනවා. පහස පිළිබඳව චේතනා ඇතිවෙනවා. අරමුණු පිළිබඳව චේතනා ඇතිවෙනවා යන හයයි. පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ මෙයටයි. සංස්කාර ….(පෙ)…. අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.

පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියන්නේ මොකක්ද?

පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණයත් හය ආකාරයි. ඇසෙහි පහළ වන විඤ්ඤාණය ….(පෙ)…. මනසෙහි පහළ වන විඤ්ඤාණය යන හයයි. පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියන්නේ මෙයයි. නාමරූප හටගැනීමෙනුයි විඤ්ඤාණය හටගන්නේ. නාමරූප නිරුද්ධ වීමෙනුයි විඤ්ඤාණය නිරුද්ධ වන්නේ. විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි. විඤ්ඤාණය නිසා යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් අන්න ඒක තමයි විඤ්ඤාණයෙහි ආශ්වාදය. යම් විඤ්ඤාණයක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස් වන ධර්මතාවයෙන් යුතුද මේක තමයි විඤ්ඤාණයෙහි ආදීනවය. විඤ්ඤාණය කෙරෙහි ඇති ඡන්දරාගයෙහි යම් දුරුකිරීමක් ඇද්ද, ඡන්දරාගයෙහි ප්‍රහාණයක් ඇද්ද මෙය තමයි විඤ්ඤාණයෙන් නිදහස් වීම.

පින්වත් මහණනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට විඤ්ඤාණය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයෙහි ආශ්වාදය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයෙහි ආදීනවය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයෙන් නිදහස්වීම අවබෝධ කරගෙන ඒ විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් අන්න ඒ උදවිය තමයි සුපටිපන්න වෙන්නේ. යම් කෙනෙක් සුපටිපන්න වුණොත් ඒ උදවිය තමයි මේ ධර්ම විනය තුළ පිහිටල ඉන්නේ.

පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට විඤ්ඤාණය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයෙහි ආශ්වාදය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයෙහි ආදීනවය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයෙන් නිදහස්වීම අවබෝධ කරගෙන ඒ විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරිලා, ඇල්ම දුරු කරලා, තණ්හාව නිරුද්ධ කරලා කිසිවකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උදවිය තමයි සුවිමුත්ත (මනාකොට නිදහස්) වෙන්නේ. යම් කෙනෙක් සුවිමුත්ත වුණොත් ඒ උදවිය තමයි (ධර්ම විනය තුළ) පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.

පින්වත් මහණෙනි, භික්ෂුව තුන් ආකාරයකින් නුවණන් විමසන කෙනෙක් වෙන්නේ කොහොමද?

පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව ධාතු ස්වභාව වශයෙන් ද නුවණින් විමසනවා. ආයතන වශයෙන් ද නුවණින් විමසනවා. පටිච්චපමුප්පාද වශයෙන් ද නුවණින් විමසනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි භික්ෂුව තුන් ආකාරයකින් නුවණින් විමසන කෙනෙක් වෙන්නේ.

පින්වත් මහණෙනි, සත් තැනක් පිළිබඳව දක්ෂතාවය ඇති, තුන් ආකාරයකින් නුවණින් විමසන්නා වූ භික්ෂුවටයි මේ ධර්ම විනය තුළ පිරිපුන් කෙනෙක් වෙනවා කියල, බඹසර වාසය සම්පූර්ණ කළ කෙනෙක් වෙනවා කියල, උතුම් පුරුෂයෙක් වෙනවා කියල කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සත්තට්ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M