56. සැවැත් නුවර දී ………………….
පින්වත් මහණෙනි, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. ඒ පහ මොනවාද? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි.
පින්වත් මහණෙනි, මේ උපාදානස්කන්ධයන් පරිවර්ත (පිළිවෙලවල්) හතරකින් යුතුව ඒ අයුරින් ම මා අවබෝධ නොකරගෙන සිටියේ යම්තාක් කලක් ද, ඒ තාක්කල් මා පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ ලෝකයෙහි දෙවි මිනිස් ප්‍රජාව අබියස අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බවට ප්‍රතිඥා දුන්නේ නෑ.
පින්වත් මහණෙනි, මේ පංච උපාදානස්කන්ධයන් පරිවර්ත (පිළිවෙලවල්) හතරකින් යුතුව ඒ අයුරින් ම මා අවබෝධ කරගත්තේ යම් දවසක ද, එතකොට පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ ලෝකයෙහි දෙවි මිනිස් ප්‍රජාව අබියස අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බවට මා ප්‍රතිඥා දුන්නා.
ඒ කවර වූ පිළිවෙලවල් හතරක්ද;
රූපය අවබෝධ කරගත්තා. රූපයේ හටගැනීම ගැන අවබෝධ කරගත්තා. රූපය නිරුද්ධ වීම අවබෝධ කරගත්තා. රූපය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන අවබෝධ කරගත්තා. වේදනාව අවබෝධ කරගත්තා ….(පෙ)…. සඤ්ඤාව අවබෝධ කරගත්තා ….(පෙ)…. සංස්කාර අවබෝධ කරගත්තා ….(පෙ)…. විඤ්ඤාණය අවබෝධ කරගත්තා. විඤ්ඤාණයේ හටගැනීම ගැන අවබෝධ කරගත්තා. විඤ්ඤාණය නිරුද්ධ වීම අවබෝධ කරගත්තා. විඤ්ඤාණය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන අවබෝධ කරගත්තා.
පින්වත් මහණෙනි, රූපය කියන්නේ මොකක්ද?
පින්වත් මහණෙනි, (පඨවි, අපෝ, තේජෝ, වයෝ යන) මහාභූත හතරත්, ඒ සතර මහා භූතයන්ගේ උපකාරයෙන් හැදෙන්නා වූ රූපත් ය. පින්වත් මහණෙනි, මෙයට තමයි රූපය කියන්නෙ. ආහාර හටගැනීමෙනුයි රූප හටගන්නේ. ආහාර නිරුද්ධ වීමෙනුයි රූප නිරුද්ධ වන්නේ. රූප නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා අජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට රූපය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඒ රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් අන්න ඒ උදවිය තමයි සුපටිපන්න වෙන්නෙ. යම් කෙනෙක් සුපටිපන්න වුණොත් ඒ උදවිය තමයි මේ ධර්ම විනය තුළ පිහිටල ඉන්නේ.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට රූපය අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට රූපය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඒ රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරිලා, ඇල්ම දුරුකරලා, තණ්හාව නිරුද්ධ කරලා කිසිවෙකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උදවිය තමයි සුවිමුත්ත (මනාකොට නිදහස්) වෙන්නේ. යම් කෙනෙක් සුවිමුත්ත වුණොත් ඒ උදවිය තමයි (ධර්ම විනය තුළ) පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.
පින්වත් මහණෙනි, වේදනාව කියන්නේ මොකක්ද?
පින්වත් මහණෙනි, මේ වේදනාව හය ආකාරයකින් යුක්තයි. ඇසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කණේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. නාසයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. මනසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. පින්වත් මහණෙනි, වේදනාව කියල කියන්නෙ මෙයටයි. ස්පර්ශයේ හටගැනීමෙනුයි විඳීම හටගන්නේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නෙ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට වේදනාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඒ වේදනාව පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් අන්න ඒ උදවිය තමයි සුපටිපන්න වෙන්නේ. යම් කෙනෙක් සුපටිපන්න වුණොත් ඒ උදවිය තමයි මේ ධර්ම විනය තුළ පිහිටල ඉන්නේ.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට වේදනාව අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාවේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට වේදනාව නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඒ වේදනාව පිළිබඳව අවබෝධයෙන් ම කළකිරිලා, ඇල්ම දුරුකරලා, තණ්හාව නිරුද්ධ කරලා කිසිවකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උදවිය තමයි සුවිමුත්ත (මනාකොට නිදහස්) වෙන්නේ. යම් කෙනෙක් සුවිමුත්ත වුණොත් ඒ උදවිය තමයි (ධර්ම විනය තුළ) පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.
පින්වත් මහණෙනි, සඤ්ඤාව (හඳුනා ගැනීම) කියන්නෙ මොකක්ද?
පින්වත් මහණෙනි, මේ සඤ්ඤාවත් හය ආකාරයි. ඒ කියන්නේ රූප හඳුනා ගන්නවා. ශබ්ද හඳුනා ගන්නවා. ගඳ සුවඳ හඳුනා ගන්නවා. රස හඳුනා ගන්නවා. පහස හඳුනා ගන්නවා. අරමුණු හඳුනා ගන්නවා යන හයයි. පින්වත් මහණෙනි, සඤ්ඤාව කියන්නේ මෙයටයි. ස්පර්ශයේ හට ගැනීමෙනුයි සඤ්ඤාව හටගන්නේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සඤ්ඤාව නිරුද්ධ වෙනවා. සඤ්ඤාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නෙ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට සඤ්ඤාව අවබෝධ කරගෙන ….(පෙ)…. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.
පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ මොනවාද?
පින්වත් මහණෙනි, මේ චේතනාවනුත් හය ආකාරයි. ඒ කියන්නේ රූප පිළිබඳව චේතනා ඇතිවෙනවා. ශබ්ද පිළිබඳව චේතනා ඇතිවෙනවා. ගඳ සුවඳ පිළිබඳව චේතනා ඇතිවෙනවා. රස පිළිබඳව චේතනා ඇතිවෙනවා. පහස පිළිබඳව චේතනා ඇතිවෙනවා. අරමුණු පිළිබඳව චේතනා ඇතිවෙනවා යන හයයි. පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ මෙයටයි. ස්පර්ශයේ හටගැනීමෙනුයි සංස්කාර හටගන්නේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නෙ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට සංස්කාර අවබෝධ කරගෙන ….(පෙ)…. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.
පින්වත් මහණෙනි, විඤ්ඤාණය (විශේෂයෙන් දැනගන්නවා) කියන්නේ මොකක්ද?
පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණයත් හය ආකාරයි. ඇසෙහි පහළ වන විඤ්ඤාණය, කණෙහි විඤ්ඤාණය, නාසයෙහි පහළ වන විඤ්ඤාණය, දිවෙහි පහළ වන විඤ්ඤාණය, කයෙහි පහළ වන විඤ්ඤාණය, මනසෙහි පහළ වන විඤ්ඤාණය යන හයයි. පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියන්නෙ මෙයයි. නාමරූප හටගැනීමෙනුයි විඤ්ඤාණය හටගන්නේ. නාමරූප නිරුද්ධ වීමෙනුයි විඤ්ඤාණය නිරුද්ධ වන්නේ. විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට විඤ්ඤාණය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඒ විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් අන්න ඒ උදවිය තමයි සුපටිපන්න වෙන්නේ. යම් කෙනෙක් සුපටිපන්න වුණොත් ඒ උදවිය තමයි මේ ධර්ම විනය තුළ පිහිටලා ඉන්නේ.
පින්වත් මහණෙනි, ශ්‍රමණවරුන් වේවා, බ්‍රාහ්මණවරුන් වේවා, යම් කෙනෙක් ඔය ආකාරයට විඤ්ඤාණය අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණයේ හටගැනීම ගැන අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඔය ආකාරයට විඤ්ඤාණය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඒ විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරිලා, ඇල්ම දුරුවෙලා, තණ්හාව නිරුද්ධ කරලා කිසිවෙකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උදවිය තමයි සුවිමුත්ත (මනාකොට නිදහස්) වෙන්නේ. යම් කෙනෙක් සුවිමුත්ත වුණොත් ඒ උදවිය තමයි (ධර්ම විනය තුළ) පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ක්ෂීණාශ්‍රවයන් හට පැණවීමට සසර ගමනක් නම් නෑ.
සාදු! සාදු!! සාදු!!!
උපාදාන පරිවත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M