54. සැවැත් නුවරදී …………………….
“පින්වත් මහණෙනි, මේ බීජ (පැළවෙන දේ) වර්ග පහක් තියෙනවා. මොනවද ඒ පහ? මුලෙන් පැළවෙන බීජ තියෙනවා. කඳින් පැළවෙන බීජ තියෙනවා. පුරුකෙන් පැළවෙන බීජ තියෙනවා. දළුවලින් පැළවෙන බීජ තියෙනවා. බීජයෙන් පැළවෙන බීජය තමයි පස්වෙනි එක. පින්වත් මහණෙනි, ඔය බීජ වර්ග පහ කැඩිල නැතුවයි තියෙන්නේ. කුණුවෙලත් නෑ. අව්වෙන් සුළඟින් වැනසිලත් නෑ. සාරවත් බවත් තියෙනවා. ඕජා සහිත බවත් තියෙනවා. නමුත් පොළොවකුත් නැත්නම්, ජලයත් නැත්නම්, පින්වත් මහණෙනි, එතකොට ඔය බීජ වර්ග පහ වර්ධනය වේවිද? දළුලා වැඩේවිද? විපුල බවට පත්වේවිද?”
“ස්වාමීනී, එය නොවන්නේ ම ය.”
“පින්වත් මහණෙනි, ඔය බීජ වර්ග පහ කැඩිලා තියෙනවා නම්, කුණුවෙලත් තියෙනවා නම්, අව්වෙන් සුළඟින් වැනසිලත් තියෙනවා නම්, සාරවත් බවක් නැත්නම්, ඕජා සහිත බවක් නැත්නම්, නමුත් පොළොවකුත් තියෙනවා නම්, ජලයත් තියෙනවා නම්, පින්වත් මහණෙනි, එතකොට ඔය බීජ වර්ග පහ වර්ධනය වේවිද? දළුලා වැඩේවිද? විපුල බවට පත්වේවිද?”
“ස්වාමීනී, එය නොවන්නේ ම ය.”
“පින්වත් මහණෙනි, ඔය බීජ වර්ග පහ කැඩිල නැතුවයි තියෙන්නේ. කුණුවෙලත් නෑ. අව්වෙන් සුළඟින් වැනසිලත් නෑ. සාරවත්බවත් තියෙනවා. ඕජා සහිත බවක් තියෙනවා. ඒ වගේ ම පොළොවකුත් තියෙනවා නම්, ජලයත් තියෙනවා නම්, පින්වත් මහණෙනි, එතකොට ඔය බීජ වර්ග පහ වර්ධනය වේවිද? දළුලා වැඩේවිද? විපුල බවට පත්වේවිද?”
“එසේය, ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, මේකත් ඔය වගේ තමයි. පොළොව යම් සේ ද විඤ්ඤාණය පිහිටන තැන් හතර (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර) ගැනත් අවබෝධ කරගත යුත්තේ ඒ විදිහටයි. පින්වත් මහණෙනි, ජලය යම් සේ ද නන්දිරාගය ගැනත් අවබෝධ කරගත යුත්තේ ඒ විදිහටයි. පින්වත් මහණෙනි, බීජවර්ග පහ යම් සේ ද ආහාර සහිත වූ විඤ්ඤාණය ගැන අවබෝධ කරගත යුත්තේ ඒ විදිහටයි.
පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ රූපයෙහි බැසගෙනයි. රූපය අරමුණු කොටගෙනයි. රූපයෙහි පිහිටාගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ වේදනාවෙහි බැසගෙනයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ සඤ්ඤාවෙහි බැසගෙනයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ සංස්කාරවල බැසගෙනයි. සංස්කාර අරමුණු කොට ගෙනයි. සංස්කාරවල පිහිටා ගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘මම රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සඤ්ඤාවෙන් තොරව සංස්කාරවලින් තොරව විඤ්ඤාණයේ පැමිණීමක් හරි, යෑමක් හරි, චුත වීමක් හරි, ඉපදීමක් හරි, වර්ධනයක් හරි, දළුලා වැඩීමක් හරි, විපුල බවට පත්වීමක් හරි පණවන්නෙමි’යි කියලා. නමුත් ඒක සිදුවෙන දෙයක් නම් නොවෙයි.
පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට රූපධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා.
පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට වේදනා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සඤ්ඤා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සංස්කාර ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිල යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා.
පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුව විඤ්ඤාණ ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. පිහිටා සිටින්නට තැනක් නැති විඤ්ඤාණය දළුලා වැඩෙන්නෙ නෑ. විශේෂයෙන් සකස් වෙන්නෙ නෑ. නිදහස් වෙනවා. නිදහස් වීම නිසා විරාගය තුළ පිහිටනවා. විරාගය තුළ පිහිටා තිබීම නිසා සතුටක් ඇතිවෙනවා. සතුට නිසා කම්පාවක් නෑ. අකම්පිතව සිටිමින් තමා තුළම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන සඳහා කළ යුතු දේ කළා. නැවත වෙන කිසි භවයක උපතක් නැතැ’යි අවබෝධ කරගන්නෙවා.
සාදු! සාදු!! සාදු!!!
බීජ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M