සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.1.1. උපය සුත්තං

1.2.1.1. බැසගෙන තිබීම (උපය) ගැන වදාළ දෙසුම

53. සාවත්ථියං….

53. සැවැත් නුවරදී ………………………

උපයෝ භික්ඛවේ, අවිමුත්තෝ, අනුපයෝ විමුත්තෝ. රූපූපයං වා භික්ඛවේ, විඤ්‌ඤාණං තිට්‌ඨමානං තිට්‌ඨෙය්‍ය, රූපාරම්‌මණං රූපප්‌පතිට්‌ඨං නන්දූපසේචනං වුද්‌ධිං විරූළ්‌හිං වේපුල්ලං ආපජ්‌ජෙය්‍ය. වේදනූපයං වා භික්ඛවේ ….(පෙ)…. සඤ්‌ඤූපයං වා භික්ඛවේ ….(පෙ)…. සංඛාරූපයං වා භික්ඛවේ, විඤ්‌ඤාණං තිට්‌ඨමානං තිට්‌ඨෙය්‍ය, සංඛාරාරම්‌මණං සංඛාරප්‌පතිට්‌ඨං නන්දූපසේචනං වුද්‌ධිං විරූළ්‌හිං වේපුල්ලං ආපජ්‌ජෙය්‍ය.

පින්වත් මහණෙනි, බැසගෙන තිබුණොත් දුකින් නිදහස් වීමක් නම් නෑ. නොබැසගෙන තිබුණොත් දුකෙන් නිදහස් වෙනවා. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ රූපයෙහි බැසගෙනයි. රූපය අරමුණු කොටගෙනයි. රූපයෙහි පිහිටාගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ වේදනාවේ බැසගෙනයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ සඤ්ඤාවෙහි බැසගෙනයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තියෙන්නේ සංස්කාරවල බැසගෙනයි. සංස්කාර අරමුණු කොටයි. සංස්කාරවල පිහිටා ගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා.

යෝ භික්ඛවේ, ඒවං වදෙය්‍ය. අහමඤ්‌ඤත්‍ර රූපා අඤ්‌ඤත්‍ර වේදනාය අඤ්‌ඤත්‍ර සඤ්‌ඤාය අඤ්‌ඤත්‍ර සංඛාරේහි විඤ්‌ඤාණස්‌ස ආගතිං වා ගතිං වා චුතිං වා උප්පත්‌තිං වා වුද්‌ධිං වා විරූළ්‌හිං වා වේපුල්ලං වා පඤ්‌ඤාපෙස්‌සාමීති, නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්නට පුළුවනි. ‘මම රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සඤ්ඤාවෙන් තොරව සංස්කාරවලින් තොරව විඤ්ඤාණයේ පැමිණීමක් හරි, යෑමක් හරි, චුත වීමක් හරි, ඉපදීමක් හරි, වර්ධනයක් හරි, දළුලා වැඩීමක් හරි, විපුලබවට පත්වීමක් හරි පණවන්නේමි’යි කියල. ඒක සිදුවෙන දෙයක් නම් නෙවෙයි.

රූපධාතුයා චේ භික්ඛවේ, භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්‌ස පහානා වොච්‌ඡිජ්‌ජතාරම්‌මණං, පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස න හෝති.

පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට රූපධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිල යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා.

වේදනාධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ ….(පෙ)…. සඤ්‌ඤාධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ ….(පෙ)…. සංඛාරධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්‌ස පහානා වොච්‌ඡිජ්‌ජතාරම්‌මණං, පතිට්‌ඨා විඤ්‌ඤාණස්ස න හෝති.

පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට වේදනා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සඤ්ඤා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සංස්කාර ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිල යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා.

විඤ්ඤාණධාතුයා චේ භික්ඛවේ, භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්‌ස පහානා වොච්‌ඡිජ්‌ජතාරම්‌මණං, පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස න හෝති. තදප්‌පතිට්‌ඨිතං විඤ්‌ඤාණං අවිරූළ්‌හං අනභිසංඛච්‌චවිමුත්‌තං. විමුත්‌තත්‌තා ඨිතං. ඨිතත්‌තා සන්‌තුසිතං. සන්‌තුසිතත්‌තා න පරිතස්‌සති. අපරිතස්‌සං පච්‌චත්‌තං යේව පරිනිබ්‌බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට විඤ්ඤාණ ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා නම්, රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. පිහිටා සිටින්න තැනක් නැති විඤ්ඤාණය දළුලා වැඩෙන්නේ නෑ. විශේෂයෙන් සකස් වෙන්නේ නෑ. නිදහස් වෙනවා. නිදහස් වෙන නිසා නොසැලී තියෙනවා. නොසැලී තියෙන නිසා අලෞකික සතුටක් ඇතිවෙනවා. අලෞකික සතුටක් ඇතිවෙන නිසා කම්පාවක් නෑ. අකම්පිතව සිටිමින් තමා තුළ ම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන සඳහා කළ යුතු දේ කළා. නැවත වෙන කිසි භවයක උපතක් නැතැ’යි අවබෝධ කර ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

උපය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M