සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.1.10. නිරුත්තිපථ සුත්තං

1.2.1.10. වචනවල අරුත් පැවසීමේ මග ගැන වදාළ දෙසුම

62. සැවැත් නුවර දී …………………

පින්වත් මහණෙනි, වචනවලට තේරුම් දෙන ක්‍රම, ව්‍යවහාර කරන ක්‍රම, සම්මත කරන ක්‍රම තුනක් තියෙනවා. හැබැයි ඒ ක්‍රම තුන කවුරුවත් බැහැර කරන්නේ නෑ. ඉස්සර වුණත් බැහැර කරලා නෑ. දැන් බැහැර කරලත් නෑ. අනාගතයේ බැහැර කරන්නෙත් නෑ. බුද්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, අතීතයට ගිය, නිරුද්ධ වී ගිය, විපරිණාමයට පත් වී ගිය යම් රූපයක් ඇද්ද, අන්න ඒක ‘වුණා’ කියන ගණනට යනවා. ඒකට ‘වුණා’ කියන නම යෙදෙනවා. ඒකට ‘වුණා’ කියන පැණවීම ඇතිවෙනවා. ඒක ‘වෙනවා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වන්නේ ය’ කියලා ගණන් ගන්නෙත් නෑ.

පින්වත් මහණෙනි, අතීතයට ගිය, නිරුද්ධ වී ගිය, විපරිණාමයට පත් වී ගිය යම් වේදනාවක් ඇද්ද, අන්න ඒක ‘වුණා’ කියන ගණනට යනවා. ඒකට ‘වුණා’ කියන නම යෙදෙනවා. ඒකට ‘වුණා’ කියන පැණවීම ඇතිවෙනවා. ඒක ‘වෙනවා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වන්නේ ය’ කියලා ගණන් ගන්නෙත් නෑ.

පින්වත් මහණෙනි, අතීතයට ගිය, නිරුද්ධ වී ගිය, විපරිණාමයට පත් වී ගිය යම් සඤ්ඤාවක් ඇද්ද, ….(පෙ)…. පින්වත් මහණෙනි, අතීතයට ගිය, නිරුද්ධ වී ගිය, විපරිණාමයට පත් වී ගිය යම් සංස්කාර ඇද්ද, අන්න ඒවා ‘වුණා’ කියන ගණනට යනවා. ඒවාට ‘වුණා’ කියන නම යෙදෙනවා. ඒවාට ‘වුණා’ කියන පැණවීම ඇතිවෙනවා. ඒවා ‘වෙනවා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වන්නේ ය’ කියලා ගණන් ගන්නෙත් නෑ.

පින්වත් මහණෙනි, අතීතයට ගිය, නිරුද්ධ වී ගිය, විපරිණාමයට පත් වී ගිය යම් විඤ්ඤාණයක් ඇද්ද, අන්න ඒක ‘වුණා’ කියන ගණනට යනවා. ඒකට ‘වුණා’ කියන නම යෙදෙනවා. ඒකට ‘වුණා’ කියන පැණවීම ඇතිවෙනවා. ඒක ‘වෙනවා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වන්නේ ය’ කියලා ගණන් ගන්නෙත් නෑ.

පින්වත් මහණෙනි, තවම හට නොගත්, පහළ නොවූ යම් රූපයක් ඇද්ද, අන්න ඒක (අනාගතයේ) ‘වන්නේ ය’ කියන ගණනට යනවා. ඒකට ‘වන්නේ ය’ කියන නම යෙදෙනවා. ඒකට ‘වන්නේ ය’ කියන පැණවීම ඇතිවෙනවා. ඒක ‘වෙනවා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වුණා’ කියලා ගණන් ගන්නෙත් නෑ. තවම හට නොගත්, පහළ නොවූ යම් විඳීමක් ඇද්ද, ….(පෙ)…. තවම හට නොගත්, පහළ නොවූ යම් සඤ්ඤාවක් ඇද්ද, ….(පෙ)…. තවම හට නොගත්, පහළ නොවූ යම් සංස්කාර ඇද්ද, ….(පෙ)…. තවම හට නොගත්, පහළ නොවූ යම් විඤ්ඤාණයක් ඇද්ද, අන්න ඒක (අනාගතයේ) ‘වන්නේ ය’ කියන ගණනට යනවා. ඒකට ‘වන්නේ ය’ කියන නම යෙදෙනවා. ඒකට ‘වන්නේ ය’ කියන පැණවීම ඇතිවෙනවා. ඒක ‘වෙනවා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වුණා’ කියලා ගණන් ගන්නෙත් නෑ.

පින්වත් මහණෙනි, ඉපදුණ, පහළ වුණු යම් රූපයක් තියෙනවා ද, අන්න ඒක ‘වෙනවා’ කියන ගණනට යනවා. ඒකට ‘වෙනවා’ කියන නම යෙදෙනවා. ඒකට ‘වෙනවා’ කියන පැණවීමත් ඇතිවෙනවා. හැබැයි ඒක ‘වුණා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වන්නේ ය’ කියලා ගණන් ගන්නෙත් නෑ. ඉපදුණ, පහළ වුණු යම් විඳීමක් තියෙනවා ද ….(පෙ)…. ඉපදුණ, පහළ වුණු යම් සඤ්ඤාවක් තියෙනවා ද ….(පෙ)…. ඉපදුණ, පහළ වුණු යම් සංස්කාර තියෙනවා ද ….(පෙ)…. ඉපදුණ, පහළ වුණු යම් විඤ්ඤාණයක් තියෙනවා ද, අන්න ඒක ‘වෙනවා’ කියන ගණනට යනවා. ඒකට ‘වෙනවා’ කියන නම යෙදෙනවා. ඒකට ‘වෙනවා’ කියන පැණවීමත් ඇතිවෙනවා. හැබැයි ඒක ‘වුණා’ කියල ගණන් ගන්නේ නෑ. ‘වන්නේ ය’ කියලා ගණන් ගන්නෙත් නෑ.

පින්වත් මහණෙනි, මේවා තමයි වචනවලට තේරුම් දෙන ක්‍රම, ව්‍යවහාර කරන ක්‍රම, සම්මත කරන ක්‍රම තුන. හැබැයි ඒ ක්‍රම තුන කවුරුවත් බැහැර කරන්නේ නෑ. ඉස්සර වුණත් බැහැර කරලා නෑ. දැන් බැහැර කරලත් නෑ. අනාගතයේ බැහැර කරන්නෙත් නෑ. බුද්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

පින්වත් මහණෙනි, උක්කලා ජනපදයේ ‘වස්ස’, ‘භඤ්ඤ’ යන හේතුඵල දහම නොපිළිගන්නා අය (අහේතුකවාදීන්), ක්‍රියාවෙහි ඵලය නොපිළිගන්නා අය (අකිරියවාදීන්), මෙලොව පරලොව නොපිළිගන්නා අය (නත්ථිකවාදීන්) පවා මේ වචනවලට තේරුම් දෙන ක්‍රම, ව්‍යවහාර කරන ක්‍රම, සම්මත කරන ක්‍රම තුන ගැරහිය යුතුයි කියලා හිතුවේ නෑ. ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා හිතුවේ නෑ. ඒකට හේතුව මොකක්ද? නින්දා අපහාස උපවාද දොර පරොස් ලැබෙයි කියලා බියටයි.

සාදු! සාදු!! සාදු!!!

නිරුත්තිපථ සූත්‍රය නිමා විය.

පළමු උපය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

උපය සූත්‍රය, බීජ සූත්‍රය, උදාන සූත්‍රය, උපාදාන පරිවත්ත සූත්‍රය, සත්තට්ඨාන සූත්‍රය, සම්බුද්ධ සූත්‍රය, පංචවග්ගීය සූත්‍රය, මහාලි සූත්‍රය, ආදිත්ත සූත්‍රය, නිරුත්තිපථ සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විතයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M