43. සැවැත් නුවර දී …………………..
පින්වත් මහණෙනි, තමාව (සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන්) පිහිට කරගන්න. තමාව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නොකර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. ධර්මය පිළිසරණ කරගන්න. බාහිර දෙයක් පිළිසරණ නොකර ගෙන සිටින්න.
පින්වත් මහණෙනි, තමාව පිහිට කරගෙන, තමාව පිළිසරණ කරගෙන, වෙන කෙනෙක් පිළිසරණ නොකර ගෙන, ධර්මය පිහිට කරගෙන, ධර්මය පිළිසරණ කරගෙන, වෙන දෙයක් පිළිසරණ නොකරගෙන වාසය කරන්නා වූ ඔබ නුවණින්ම විමස විමසා බැලිය යුත්තේ මේ සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් හටගන්නේ කුමකින්ද කියාය. ප්‍රභවය වන්නේ කුමකින්ද කියාය.
පින්වත් මහණෙනි, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් හටගන්නේ කුමකින්ද? ප්‍රභවය වන්නේ කුමකින්ද?
පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නෙ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නෙ රූපය තුළයි කියලා. නමුත් ඔහුගේ එම රූපය විපරිණාමයට පත්වෙනවා. වෙනස් වෙලා යනවා. එතකොට ඔහුගේ රූපය විපරිණාමයට පත්වෙලා, වෙනස් වෙලා යෑම නිසා සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා.
ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කො ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලා. නමුත් ඔහුගේ ඒ වේදනාව විපරිණාමයට පත් වෙනවා. වෙනස් වෙලා යනවා. එතකොට ඔහුගේ වේදනාව විපරිණාමයට පත්වෙලා, වෙනස් වෙලා යෑම නිසා සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා. සඤ්ඤාව ….(පෙ)…. ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) සංස්කාර ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය සංස්කාරවලින් හැදිච්ච එකක් කියලයි. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි සංස්කාර තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ සංස්කාර තුළයි කියලා. නමුත් ඔහුගේ ඒ සංස්කාර විපරිණාමයට පත් වෙනවා. වෙනස් වෙලා යනවා. එතකොට ඔහුගේ සංස්කාර විපරිණාමයට පත්වෙලා, වෙනස් වෙලා යෑම නිසා සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා.
ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයේ පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලා. නමුත් ඔහුගේ ඒ විඤ්ඤාණය විපරිණාමයට පත්වෙනවා. වෙනස් වෙලා යනවා. එතකොට ඔහුගේ විඤ්ඤාණය විපරිණාමයට පත් වෙලා, වෙනස් වෙලා යෑම නිසා සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා.
පින්වත් මහණෙනි, ඒ රූපය පිළිබඳව ම අනිත්‍ය ස්වභාවයත්, විපරිණාම ස්වභාවයත්, විරාගී ස්වභාවයත්, නිරෝධයත් දැනගෙන කලින් තිබූ රූපයත් දැන් තිබෙන රූපයත් යන සෑම රූපයක් ම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි කියලා ඔය ආකාරයෙන් සැබෑ තත්වය ම දියුණු කළ ප්‍රඥාවෙන් දකින විට යම් ආකාරයෙන් යම් සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. ඒවා ප්‍රහාණය වෙලා ගියාට පස්සේ තැති ගැනීමක් හටගන්නේ නෑ. තැති ගැනීමක් නැති නිසා සැපසේ වාසය කරනවා. සැපසේ වසන්නා වූ භික්ෂුවට “ඒ කරුණෙන් නිවී ගිය කෙනෙක්” කියලයි කියන්නේ.
පින්වත් මහණෙනි, ඒ විඳීම පිළිබඳව ම අනිත්‍ය ස්වභාවයත්, විපරිණාම ස්වභාවයත්, විරාගී ස්වභාවයත්, නිරෝධයත් දැනගෙන කලින් තිබූ විඳීමත් දැන් තිබෙන විඳීමත් යන සෑම විඳීමක් ම අනිත්‍යයි, දුකයි, වෙනස්වන ධර්මතාවයෙන් යුක්තයි කියලා ඔය ආකාරයෙන් සැබෑ තත්වය ම දියුණු කළ ප්‍රඥාවෙන් දකින විට යම් සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙලීම් තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. ඒවා ප්‍රහාණය වෙලා ගියාට පස්සේ තැති ගැනීමක් හටගන්නේ නෑ. තැති ගැනීමක් නැති නිසා සැප සේ වාසය කරනවා. සැපසේ වසන්නා වූ භික්ෂුවට “ඒ කරුණෙන් නිවී ගිය කෙනෙක්” කියලයි කියන්නේ.
පින්වත් මහණෙනි, සඤ්ඤාව පිළිබඳව ….(පෙ)…. පින්වත් මහණෙනි, ඒ සංස්කාර පිළිබඳව ම අනිත්‍ය ස්වභාවයත්, විපරිණාම ස්වභාවයත්, විරාගී ස්වභාවයත්, නිරෝධයත් දැනගෙන කලින් තිබූ සංස්කාරත් දැන් තිබෙන සංස්කාරත් යන සෑම සංස්කාරයක් ම අනිත්‍යයි, දුකයි, වෙනස්වන ධර්මතාවයෙන් යුක්තයි කියලා ඔය ආකාරයෙන් සැබෑ තත්වය ම දියුණු කළ ප්‍රඥාවෙන් දකින විට යම් සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙලීම් තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. ඒවා ප්‍රහාණය වෙලා ගියාට පස්සේ තැති ගැනීමක් හටගන්නේ නෑ. තැති ගැනීමක් නැති නිසා සැප සේ වාසය කරනවා. සැපසේ වසන්නා වූ භික්ෂුව “ඒ කරුණෙන් නිවී ගිය කෙනෙක්” කියලයි කියන්නේ.
පින්වත් මහණෙනි, ඒ විඤ්ඤාණය පිළිබඳව ම අනිත්‍ය ස්වභාවයත්, විපරිණාම ස්වභාවයත්, විරාගී ස්වභාවයත්, නිරෝධයත් දැනගෙන කලින් තිබූ විඤ්ඤාණයත් දැන් තිබෙන විඤ්ඤාණයත් යන සෑම විඤ්ඤාණයක් ම අනිත්‍යයි, දුකයි, වෙනස්වන ධර්මතාවයෙන් යුක්තයි කියලා ඔය ආකාරයෙන් සැබෑ තත්වය ම දියුණු කළ ප්‍රඥාවෙන් දකින විට යම් සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් තියෙනවා නම්, එවා ප්‍රහාණය වෙලා යනවා. ඒවා ප්‍රහාණය වෙලා ගියාට පස්සේ තැති ගැනීමක් හටගන්නේ නෑ. තැති ගැනීමක් නැති නිසා සැප සේ වාසය කරනවා. සැපසේ වසන්නා වූ භික්ෂුවට “ඒ කරුණෙන් නිවී ගිය කෙනෙක්” කියලයි කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අත්තදීප සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M