26. සැවැත් නුවර දී …………..
පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට කලින්ම, සම්බුද්ධත්වයට පත් නොවී, (මේ ජීවිතයේදී ම) බෝධිසත්වයන් වහන්සේ හැටියට සිටියදී ම මා හට මේ අදහස ඇති වුණා.
රූපයෙහි තිබෙන ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද? විඳීමෙහි තිබෙන ….(පෙ)…. සඤ්ඤාවෙහි තිබෙන ….(පෙ)…. සංස්කාරවල තිබෙන ….(පෙ)…. විඤ්ඤාණයෙහි තිබෙන ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද?
පින්වත් මහණෙනි, එතකොට මට මේ කරුණ අවබෝධ වුණා. රූපය හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි රූපයෙහි ඇති ආශ්වාදය. යම් රූපයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි රූපයෙහි ඇති ආදීනවය. රූපය කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුකිරීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද, මේක තමයි රූපයෙන් නිදහස් වීම.
විඳීම හේතු කරගෙන යම් ….(පෙ)…. සඤ්ඤාව හේතු කරගෙන යම් ….(පෙ)…. සංස්කාර හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි සංස්කාරවල ඇති ආශ්වාදය. යම් සංස්කාර අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි සංස්කාරවල ඇති ආදීනවය. සංස්කාර කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුකිරීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද, මේක තමයි සංස්කාරවලින් නිදහස් වීම.
විඤ්ඤාණය හේතු කර ගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි විඤ්ඤාණයෙහි ඇති ආශ්වාදය. යම් විඤ්ඤාණයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි විඤ්ඤාණයෙහි ඇති ආදීනවය. විඤ්ඤාණය කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුකිරීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද, මේක තමයි විඤ්ඤාණයේ නිදහස් වීම.
පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කළේ නැද්ද, පින්වත් මහණෙනි, ඒ තාක්කල්ම මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ නෑ.
පින්වත් මහණෙනි, මා යම් දිනෙක මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කරගත්තා ද, පින්වත් මහණෙනි, එතකොටයි මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ. මා තුළ ඥානදර්ශනය පහළ වුණා. මගේ චිත්තවිමුක්තිය නොවෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නෑ.
සාදු! සාදු!! සාදු!!!
පඨම අස්සාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M