සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.3.1. භාර සුත්තං

1.1.3.1. බර ගැන වදාළ දෙසුම

22. සාවත්‌ථියං….

22. සැවැත් නුවර දී …………………

භාරඤ්‌ච වෝ භික්ඛවේ, දේසිස්සාමි භාරහාරඤ්‌ච භාරාදානඤ්‌ච භාරනික්‌ඛේපනඤ්‌ච. තං සුණාථ. ….(පෙ)…. ඒතදවෝච.

පින්වත් මහණෙනි, ඔබට බර ගැනත්, බර කරගහන කෙනා ගැනත්, බරට බැඳීයාම ගැනත්, බර බැහැර කිරීම ගැනත් කියා දෙන්නයි යන්නේ. එය හොඳට අසන්නට ඕන ….(පෙ)…. මෙම දෙසුම වදාළා.

කතමෝ ච භික්ඛවේ භාරෝ? පඤ්‌චුපාදානක්‌ඛන්‌ධාතිස්‌ස වචනීයං. කතමේ පඤ්‌ච? රූපූපාදානක්‌ඛන්ධෝ, වේදනූපාදානක්‌ඛන්ධෝ, සඤ්‌ඤූපාදානක්‌ඛන්ධෝ, සංඛාරූපාදානක්‌ඛන්ධෝ, විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. අයං වුච්‌චති භික්ඛවේ භාරෝ.

පින්වත් මහණෙනි, බර කියන්නේ මොකක්ද? එයට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියලයි. ඒ කවර පහක්ද? රූප උපාදානස්කන්ධයයි. වේදනා උපාදානස්කන්ධයයි. සඤ්ඤා උපාදානස්කන්ධයයි. සංස්කාර උපාදානස්කන්ධයයි. විඤ්ඤාණ උපාදානස්කන්ධයයි. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි බර කියල කියන්නේ.

කතමෝ ච භික්ඛවේ භාරහාරෝ? පුග්ගලෝතිස්‌ස වචනීයං. යෝ’යං ආයස්‌මා ඒවන්නාමෝ ඒවංගොත්‌තෝ. අයං වුච්‌චති භික්ඛවේ භාරහාරෝ.

පින්වත් මහණෙනි, බර කරගහගෙන යනවා කියන්නේ මොකක්ද? එයට කිව යුත්තේ පුද්ගලයා කියලයි. යම් යම් නම් ඇති, යම් යම් ගෝත්‍ර ඇති, යම් යම් ආයුෂ්මත් කෙනෙක් සිටිනවා ද මහණෙනි, ඔන්න ඔය කරුණටයි බර කරගහගෙන යනවා කියල කියන්නේ.

කතමඤ්‌ච භික්ඛවේ, භාරාදානං? යායං තණ්‌හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‌දිනී, සෙය්‍යථීදං. කාමතණ්‌හා, භවතණ්‌හා, විභවතණ්‌හා. ඉදං වුච්‌චති භික්ඛවේ භාරාදානං.

පින්වත් මහණෙනි, බර කෙරෙහි බැඳීයනවා කියන්නේ මොකක්ද? නැවත භවයක් සකස් කරදෙන ආශ්වාදනීය රාගයෙන් යුක්ත වූ ඒ ඒ තැන සතුටින් පිළිගන්න ස්වභාවයෙන් යුක්ත වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. ඒ කියන්නේ කාමය පිළිබඳ තණ්හාවත්, භව තණ්හාවත්, විභව තණ්හාවත් කියන මෙයයි. පින්වත් මහණෙනි, ඔන්න ඕකට තමයි බර කෙරෙහි බැඳෙනවා කියල කියන්නේ.

කතමඤ්‌ච භික්ඛවේ භාරනික්‌ඛේපනං? යෝ තස්‌සායේව තණ්‌හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්‌සග්‌ගෝ මුත්‌ති අනාලයෝ. ඉදං වුච්‌චති භික්ඛවේ භාරනික්‌ඛේපනන්‌ති.

පින්වත් මහණෙනි, බර බැහැරට දමනවා කියන්නේ මොකක්ද? ඒ (කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ) තණ්හාව ම ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැර දැමීමක් ඇද්ද, දුරුකර දැමීමක් ඇද්ද, තණ්හාවෙන් නිදහස් වීමක් ඇද්ද, ආලය රහිත බවට පත් වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, ඔන්න ඕකට තමයි බර බැහැරට දමනවා කියන්නේ.

ඉදමවෝච භගවා. ඉදං වත්‌වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්‌ථා.

භාග්‍යවතුන් වහන්සේ තමයි ඔය දෙසුම වදාළේ. මෙකරුණ වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළිත් මේ ගාථාවන් ද වදාළා.

1. භාරා හවේ පඤ්‌චක්‌ඛන්‌ධා, භාරහාරෝ ච පුග්ගලෝ,
භාරාදානං දුඛං ලෝකේ, භාරනික්‌ඛේපනං සුඛං.

1. ඒකාන්තයෙන් ම බර යනු පංච උපාදානස්කන්ධයයි. එමෙන්ම බර කරගහගන්නේ පුද්ගලයායි. මේ බරට බැඳීයාම තමයි ලෝකයෙහි තියෙන දුක. මේ බර බැහැර කිරීම තමයි සැපය වන්නේ.

2. නික්‌ඛිපිත්‌වා ගරුං භාරං, අඤ්‌ඤං භාරං අනාදිය,
සමූලං තණ්‌හං අබ්‌බුය්‌හ නිච්‌ඡාතෝ පරිනිබ්‌බුතෝ

2. මේ බරපතල බර බැහැරට විසි කරල, තවත් වෙන බරකට බැඳෙන්නේ නැතිව අවිද්‍යාව නමැති මුලුත් එක්කම තණ්හාව උදුරා දමල තණ්හා රහිතව සිටියාම පිරිනිවන් පාන්නට ලැබෙනවා.

සාදු! සාදු!! සාදු!!!

භාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M