4. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල මහාකච්චානයන් වහන්සේ වැඩසිටියේ අවන්ති ජනපදයේ කුරරඝර නම් නගරය සමීපයෙහි ප්‍රපාත නම් වූ පර්වතයේ. එදා හලිද්දාකානි ගෘහපතිතුමා ආයුෂ්මත් මහා කච්චානයන් ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට සාදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ භාලිද්දිකානි ගෘහපතිතුමා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේගෙන් මෙකරුණ අසා සිටියා.
“පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් (චූල තණ්හාසංඛය සූත්‍රයෙහි) ශක්‍ර ප්‍රශ්නයේදී මෙය වදාළා නේද ‘තණ්හාව ගෙවා දමා තණ්හාවෙන් නිදහස් වුණ යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයන් ඉන්නවා නම්, ඔවුන් ඒකාන්තයෙන්ම පිහිටක් ලබාගෙනයි ඉන්නේ. ඒකාන්තයෙන් ම කෙලෙසුන්ගෙන් මිදිලා බිය රහිතවයි ඉන්නේ. ඒකාන්තයෙන් ම බ්‍රහ්මචාරී පිරිසක්. ඒකාන්තයෙන් ම භව ගමන නිමා කළ පිරිසක්. දෙවි මිනිසුන් අතර ඔවුන් ශ්‍රේෂ්ඨයි’ කියල. ඉතින් පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු හකුළුවා වදාරන ලද ඔය දෙසුමෙහි අර්ථය විස්තර වශයෙන් දැනගත යුත්තේ කොයි ආකාරයෙන්ද?”
පින්වත් ගෘහපතිය, රූප ධාතුව පිළිබඳව කෙනෙකු තුළ යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් ආශ්වාදයක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, ඒ කෙරෙහි යම් බැසගැනීමක්, ග්‍රහණය වීමක්, සිතින් අදිටන් කරගෙන සිටීමක්, කෙලෙස් තුළ බැසගෙන එය චිත්තාභ්‍යන්තරයෙහි පවත්වාගෙන යෑමක් ඇද්ද, අන්න ඒ දේවල් ක්ෂය වෙලා ගිහින්, ඇල්ම දුරු වී ගිහින්, තණ්හාව නිරුද්ධ වී ගිහින්, ආසාව අත්හැරලා, ආසාව දුරින්ම දුරු කර දැමූ සිත මනා කොට ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වී ඇති වගයි ඔය කියැවෙන්නේ. ඒ වගේම පින්වත් ගෘහපතිය, වේදනා ධාතුව පිළිබඳව ….(පෙ)…. සඤ්ඤා ධාතුව පිළිබඳව ….(පෙ)…. සංස්කාර ධාතුව පිළිබඳව ….(පෙ)…. විඤ්ඤාණ ධාතුව පිළිබඳව කෙනෙකු තුළ යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් ආශ්වාදයක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, ඒ කෙරෙහි යම් බැසගැනීමක්, ග්‍රහණය වීමක්, සිතින් අදිටන් කරගෙන සිටීමක්, කෙලෙස් තුළ බැසගෙන එය චිත්තාභ්‍යන්තරයෙහි පවත්වාගෙන යෑමක් ඇද්ද, අන්න ඒ දේවල් ක්ෂය වෙලා ගිහින්, ඇල්ම දුරු වී ගිහින්, තණ්හාව නිරුද්ධ වී ගිහින්, ආසාව අත්හැරලා, ආසාව දුරින්ම දුරු කර දැමූ සිත මනාකොට ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වී ඇති වගයි ඔය කියැවෙන්නේ.
පින්වත් ගෘහපතිය, අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍ර ප්‍රශ්නයෙහිදී යම් කරුණක් මේ අයුරින් ‘තණ්හාව ගෙවා දමා තණ්හාවෙන් නිදහස් වූ යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයන් වෙත් නම්, ඔවුන් ඒකාන්තයෙන් ම පිහිටක් ලබාගෙනයි ඉන්නේ. ඒකාන්තයෙන් ම කෙලෙසුන්ගෙන් මිදිලා බිය රහිතවයි ඉන්නේ. ඒකාන්තයෙන් ම බ්‍රහ්මචාරී පිරිසක්. ඒකාන්තයෙන්ම භව ගමන නිමාකළ පිරිසක්. දෙවි මිනිසුන් අතර ඔවුන් ශ්‍රේෂ්ඨයි’ කියල වදාරණ ලද්දේ ද, පින්වත් ගෘහපතිය, අරුත් හකුළුවා වදාරණ ලද ඔය දෙසුමෙහි අර්ථය විස්තර වශයෙන් තේරුම් ගත යුත්තේ මේ ආකාරයටයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය හාලිද්දිකානි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M