402. සැවැත් නුවරදී ……………
එදා භාග්‍යවතුන් වහන්සේ ගේ සුළු මව් (ප්‍රජාපතී බිසොව) ගේ පුත් කුමරාව සිටි ආයුෂ්මත් නන්ද තෙරුන් ඉතා මටසිළුටු පරිද්දෙන් සිව්මැලි ලෙස කරවන ලද සිවුරුත් පොරවා ගෙන, ඇස්වල අඳුන් ගා ගෙන, ඉතා අලංකාර වූ පාත්‍රයකුත් දරාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් නන්දයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් නන්ද, ඕක ගැලපෙන දෙයක් නොවෙයි. ශ්‍රද්ධාවෙන් යුක්ත කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයේ පැවිදි වුණා නම් එබඳු කෙනෙක් වන ඔබ වගේ කෙනෙකු ඉතා මටසිළුටු පරිද්දෙන් සිව්මැලි ලෙස කරවන ලද සිවුරුත් පොරවා ගෙන ඉන්නවා නම්, ඇස්වල අඳුන් ගා ගෙන ඉන්නවා නම්, ඉතා අලංකාර වූ පාත්‍රයකුත් දරාගෙන ඉන්නවා නම් ඒක ගැලපෙන දෙයක් නොවේ. නමුත් පින්වත් නන්ද, ශ්‍රද්ධාවෙන් යුක්ත වූ කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයේ පැවිදි වුණා නම් එබඳු කෙනෙක් වන ඔබට වනාන්තරයක වාසය කිරීමත් පිණ්ඩපාතයෙන් ජීවත් වීමත් පාංශුකූල සිවුරු දැරීමත් කාමයන් ගැන අපේක්ෂා රහිතව සිටීමත් තමයි ගැලපෙන්නේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළා.
වනාන්තරයක වාසය කරන පාංශුකූල සිවුරු දරන පිඬුසිඟාගෙන ලද දෙයකින් යැපෙන කාමයන් ගැන අපේක්ෂා රහිතව ඉන්න පින්වත් නන්දයන්ව මං දකින්නේ කවදාද?
එතකොට ආයුෂ්මත් නන්දයන් ටික කාලෙකින් වනාන්තරයේ වාසය කළා. පිඬුසිඟාගෙන ජීවත් වුණා. පාංශුකූල සිවුරු දැරුවා. කාමයන්හි අපේක්ෂා රහිත වුණා.
සාදු! සාදු!! සාදු!!!
නන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M