සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

9.1.7. විසාඛපඤ්චාලිපුත්ත සුත්තං

9.1.7. විසාඛපඤ්චාලිපුත්ත තෙරුන් ගැන වදාළ දෙසුම

401. ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන ආයස්‌මා විසාඛෝ පඤ්‌චාලිපුත්‌තෝ උපට්‌ඨානසාලායං භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. පෝරියා වාචාය විස්‌සට්‌ඨාය අනේලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා පරියාපන්‌නාය අනිස්‌සිතාය.

401. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එදා ආයුෂ්මත් විසාඛපඤ්චාලිපුත්ත තෙරුන් උපස්ථාන ශාලාවේ දී භික්ෂූන්ට ධර්ම කතාවෙන් කරුණු දැක්වුවා. සමාදන් කෙරෙව්වා. උත්සාහවත් කෙරෙව්වා. සතුටු කෙරෙව්වා. ඒ භික්ෂුවගේ වචන ඉතා ශිෂ්ට සම්පන්නයි. කිසි පැකිළීමක් නෑ. ගලාගෙන යනවා. අර්ථය මතුවෙවී එනවා. සසරෙහි ඇලෙන්නේ නෑ. ආර්ය සත්‍යය ම මතු වෙනවා.

අථ ඛෝ භගවා සායන්‌හසමයං පතිසල්‌ලානා වුට්‌ඨිතෝ යේනුපට්‌ඨානසාලා තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්‌ඤත්‌තේ ආසනේ නිසීදි. නිසජ්‌ජ ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි. කෝ නු ඛෝ භික්ඛවේ උපට්‌ඨානසාලායං භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. පෝරියා වාචාය විස්‌සට්‌ඨාය අනේලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා පරියාපන්‌නාය අනිස්‌සිතායා’ති? ආයස්‌මා භන්තේ විසාඛෝ පඤ්‌චාලිපුත්‌තෝ උපට්‌ඨානසාලායං භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති, පෝරියා වාචාය විස්‌සට්‌ඨාය අනේලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා පරියාපන්‌නාය අනිස්‌සිතායා’ති.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කරලා පණවන ලද ආසනයේ වැඩ සිටියා. වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, උපස්ථාන ශාලාවේ දී භික්ෂූන්ට ධර්ම කතාවෙන් කරුණු දැක්වුවේ, සමාදන් කෙරෙව්වේ, උත්සාහවත් කෙරෙව්වේ, සතුටු කෙරෙව්වේ කවුද? ඒ භික්ෂුව ගේ වචන ඉතා ශිෂ්ට සම්පන්නයි. කිසි පැකිළීමක් නෑ. ගලාගෙන යනවා. අර්ථය මතුවෙවී එනවා. සසරෙහි ඇලෙන්නේ නෑ. ආර්ය සත්‍යය ම මතු වෙනවා.”

“ස්වාමීනි, ආයුෂ්මත් විසාඛපඤ්චාලිපුත්ත තෙරුන් තමයි උපස්ථාන ශාලාවේ දී භික්ෂූන්ට ධර්ම කතාවෙන් කරුණු දැක්වුවේ, සමාදන් කෙරෙව්වේ, උත්සාහවත් කෙරෙව්වේ, සතුටු කෙරෙව්වේ, ඒ ආයුෂ්මතුන්ගේ වචන ඉතා ශිෂ්ට සම්පන්නයි. කිසි පැකිළීමක් නෑ. ගලාගෙන යනවා. අර්ථය මතුවෙවී එනවා. සසරෙහි ඇලෙන්නේ නෑ. ආර්ය සත්‍යය ම මතු වෙනවා.”

අථ ඛෝ භගවා ආයස්‌මන්‌තං විසාඛං පඤ්‌චාලිපුත්‌තං ආමන්තේසි. සාධු සාධු විසාඛ, සාධු ඛෝ ත්‌වං විසාඛ, භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේසි සමාදපේසි සමුත්‌තේජේසි සම්‌පහංසේසි, පෝරියා වාචාය විස්‌සට්‌ඨාය අනේලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා පරියාපන්‌නාය අනිස්‌සිතායා’ති. ඉදමවෝච භගවා. ඉදං වත්‌වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්‌ථා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්ත විසාඛ තෙරුන් අමතා වදාළා. “සාදු! සාදු! පින්වත විසාඛ, පින්වත් විසාඛ, ඔබ භික්ෂූන්ට ධර්ම කතාවෙන් කරුණු දක්වන්න. සමාදන් කරවන්න. උත්සාහවත් කරවන්න. සතුටු කරවන්න. ඒක ඉතා හොඳයි. ඔබේ වචන ඉතා ශිෂ්ට සම්පන්නයි. කිසි පැකිළීමක් නෑ. ගලාගෙන යනවා. අර්ථය මතුවෙවී එනවා. සසරෙහි ඇලෙන්නේ නෑ. ආර්ය සත්‍යය ම මතු වෙනවා.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළිත් මෙය ද වදාළා.

න භාසමානං ජානන්‌ති මිස්‌සං බාලේහි පණ්‌ඩිතං
භාසමානඤ්‌ච ජානන්‌ති දේසෙන්‌තං අමතං පදං

එකතු වෙලා ඉන්නේ අඥාන පිරිසක් නම්, ධර්ම දේශනා කරන නුවණැත්තෙක්ව වුණත් හඳුන ගන්නේ නෑ. නමුත් අමා නිවන ගැන ධර්ම දේශනා කරද්දී නුවණැත්තෝ ඔහුව හඳුන ගන්නවා.

භාසයේ ජෝතයේ ධම්‌මං පග්‌ගණ්‌හේ ඉසිනං ධජං
සුභාසිතධජා ඉසයෝ ධම්මෝ හි ඉසිනං ධජෝ’ති

ධර්මය ම යි පවසන්නට ඕන. ධර්මය ම යි බබුළුවන්නට ඕන. ඉර්ෂිවරුන් ගේ ධජය ම යි හයියෙන් අල්ල ගන්නට ඕන. ඉර්ෂිවරු ඉන්නේ ශ්‍රී සද්ධර්මය ධජය කර ගෙනයි. ශ්‍රී සද්ධර්මය තමයි ඉර්ෂිවරුන්ගේ ධජය.

සාදු! සාදු!! සාදු!!!

විසාඛපඤ්චාලපුත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M