405. සැවැත් නුවරදී ……………
එදා ආයුෂ්මත් මහා කප්පින තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙමින් සිටියා. තමන් වහන්සේ වෙතට පැමිණෙමින් සිටින ආයුෂ්මත් මහා කප්පින තෙරුන්ව භාග්‍යවතුන් වහන්සේ දුරින් ම දැක වදාළා. දැකලා භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, අර පැමිණෙමින් සිටින සුදු පැහැයෙන් යුතු සිහින් ඇඟක් ඇති උස නහයක් ඇති භික්ෂුව ඔබට පේනවාද?” “එසේ ය ස්වාමීනි”
පින්වත් මහණෙනි, ඔය භික්ෂුව මහා ඉර්ධිමත්. මහානුභාව සම්පන්න යි. ඔය භික්ෂුව විසින් යම් සමාපත්තියකට සමවැදිල නැත්නම් එබඳු සමාපත්තියක් හොයා ගන්න එක සුලභ නෑ. යම් අරමුණක් උදෙසා සැදැහැවත් කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයෙහි මනාකොට පැවිදි වෙනවා නම් අන්න ඒ අරමුණ වන මේ බ්‍රහ්මචාරී ජීවිතයේ සම්පූර්ණත්වයෙන් ලබන ඒ අනුත්තර වූ අරහත්වය මේ ජීවිතයේ දීම තමා තුළින් උපදවා ගත් විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කර ගෙන වාසය කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළා.
යමෙක් උපන් ගෝත්‍රය ගැන ජනයා අතර ප්‍රතිඥා දෙයි නම් එතැන දී ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රිය වංශිකයායි. යමෙක් විජ්ජාචරණ ධර්මයන් ගෙන් සමන්විත නම් දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ඔහු තමයි.
දවල් කාලයට හිරු බබලනවා. රාත්‍රියට සඳු බබලනවා. සන්නාහ සන්නද්ධ වූ විට ක්ෂත්‍රියයා බබලනවා. ධ්‍යාන වඩන විට රහතන් වහන්සේ බබලනවා. නමුත් දිවා රාත්‍රී දෙකේ ම බුදු රජුන් තමයි මහත් තේජසින් බබලන්නේ.
සාදු! සාදු!! සාදු!!!
මහා කප්පින සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M