406. සැවැත් නුවරදී ……………
එදා ආයුෂ්මත් මහා කප්පින තෙරුන්ගේ ශිෂ්‍ය වූ යහළු භික්ෂූන් දෙනමක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙමින් සිටියා. තමන් වහන්සේ වෙතට පැමිණෙමින් සිටින යහළු භික්ෂූන් දෙනමව භාග්‍යවතුන් වහන්සේ දුරින්ම දැක වදාළා. දැකලා භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, අර පැමිණෙමින් සිටින පින්වත් මහා කප්පින තෙරුන්ගේ ශිෂ්‍ය වූ යහළු භික්ෂූන් දෙනම ඔබට පෙනෙනවාද?” “එසේ ය ස්වාමීනි”
පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් මහා ඉර්ධිමත්. මහානුභාව සම්පන්නයි. ඔය භික්ෂූන් විසින් යම් සමාපත්තියකට සමවැදිල නැත්නම් එබඳු සමාපත්තියක් හොයා ගන්න එක සුලභ නෑ. යම් අරමුණක් උදෙසා සැදැහැවත් කුල පුත්‍රයන් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයෙහි මනාකොට පැවිදි වෙනවා නම් අන්න ඒ අරමුණ වන මේ බ්‍රහ්මචාරී ජීවිතයේ සම්පූර්ණත්වයෙන් ලබන ඒ අනුත්තර වූ අරහත්වය මේ ජීවිතයේ දීම තමා තුළින් උපදවා ගත් විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කර ගෙන වාසය කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළා.
ඒකාන්තයෙන් ම මේ යහළු භික්ෂු දෙනම චිරාත්කාලයක් යහපත් ගුණයන් ගෙන් සමානවයි ඉන්නේ. ඒ නිසා බුදු රජුන් විසින් වදාරණ ලද ධර්මය තුළත් ඔවුන් ගේ ප්‍රතිපත්තිය තුළ සාසන ධර්මයෙන් සමාන වුණා.
ශ්‍රේෂ්ඨ වූ බුදු රජුන් විසින් වදාරණ ලද ධර්මය තුළ ඔවුන්ව මනා කොට හික්මෙව්වෙ පින්වත් මහා කප්පිනයන් විසිනුයි. දැන් ඔවුන් සේනා සහිත මාරයා පරදවල අන්තිම සිරුරු දරාගෙනයි ඉන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සහායක සූත්‍රය නිමා විය.
පළමු වෙනි වර්ගය අවසන් විය.
භික්ඛු සංයුත්තය නිමා විය.
සංයුත්ත නිකායේ දෙවෙනි කොටස වූ නිදාන වර්ගය සමාප්තයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M