සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

9.1.10. ථේරනාමක සුත්තං

9.1.10. ස්ථවිර නම් වූ තෙරුන් ගැන වදාළ දෙසුම

404. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන අඤ්ඤතරෝ භික්‌ඛු ථේරනාමකෝ ඒකවිහාරී චේව හෝති ඒකවිහාරස්‌ස ච වණ්‌ණවාදී. සෝ ඒකෝ ගාමං පිණ්‌ඩාය පවිසති. ඒකෝ පටික්‌කමති. ඒකෝ රහෝ නිසීදති. ඒකෝ චංකමං අධිට්‌ඨාති. අථ ඛෝ සම්‌බහුලා භික්‌ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. ඉධ භන්තේ අඤ්ඤතරෝ භික්‌ඛු ථේරනාමකෝ ඒකවිහාරී ඒකවිහාරස්‌ස ච වණ්‌ණවාදී ති.

404. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර ලෙහෙණුන් ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. ඒ කාලෙ ම ස්ථවිර නම් වූ එක්තරා භික්ෂුවක් හිටියා. ඔහු ඉන්නේ හුදෙකලාවේ ම යි. හුදෙකලා වාසය ම යි වර්ණනා කරන්නේ. ඔහු හුදෙකලාවේ ම ගමට පිණ්ඩපාතෙ වඩිනවා. හුදෙකලාවේ ම ආපසු එනවා. හුදෙකලාවේ ම අප්‍රකටව වාඩි වෙනවා. හුදෙකලාවේ ම සක්මන් කරනවා.

එතකොට බොහෝ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ ලඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ස්ථවිර නමින් එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඔහු හුදෙකලාවේ ම යි ඉන්නේ. හුදෙකලා වාසය ම යි වර්ණනා කරන්නේ.”

අථ ඛෝ භගවා අඤ්‌ඤතරං භික්‌ඛුං ආමන්තේසි. ඒහි ත්‌වං භික්‌ඛු මම වචනේන ථේරං භික්‌ඛුං ආමන්‌තේහි, සත්‌ථා තං ආවුසෝ ථේර ආමන්‌තේතී ති. ඒවං භන්තේ ති ඛෝ සෝ භික්‌ඛු භගවතෝ පටිස්‌සුත්‌වා යේනායස්මා ථේරෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්‌මන්‌තං ථේරං ඒතදවෝච. සත්‌ථා තං ආවුසෝ ථේර ආමන්‌තේතී ති. ඒවමාවුසෝ ති ඛෝ ආයස්‌මා ථේරෝ තස්‌ස භික්‌ඛුනෝ පටිස්‌සුත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං ථේරං භගවා ඒතදවෝච. සච්‌චං කිර ත්‌වං ථේර ඒකවිහාරී, ඒකවිහාරස්‌ස ච වණ්‌ණවාදීති? ඒවං භන්තේ. යථා කථං පන ත්‌වං ථේර ඒකවිහාරී ඒකවිහාරස්‌ස ච වණ්‌ණවාදීති? ඉධාහං භන්තේ ඒකෝ ගාමං පිණ්‌ඩාය පවිසාමි. ඒකෝ පටික්‌කමාමි. ඒකෝ රහෝ නිසීදාමි. ඒකෝ චංකමං අධිට්‌ඨාමි. ඒවං ඛ්‌වාහං භන්තේ ඒකවිහාරී ඒකවිහාරස්‌ස ච වණ්‌ණවාදීති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා. “පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. මගේ වචනයෙන් ඒ භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මත් ස්ථවිර, අන්න ඔබට ශාස්තෘන් වහන්සේ කතා කරනවා’ කියල.” “එසේ ය ස්වාමීනි” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන් ඒ භික්ෂුව අර භික්ෂුව ලඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. ,“ප්‍රිය ආයුෂ්මත් ස්ථවිර, අන්න ඔබට ශාස්තෘන් වහන්සේ කතා කරනවා” කියල. “එසේ ය ප්‍රිය ආයුෂ්මතුනි” කියල අර ස්ථවිර භික්ෂුවත් ඒ භික්ෂුවට පිළිතුරු දීල භාග්‍යවතුන් වහන්සේ ලඟට ගියා. ගිහින් …. (පෙ) …. එකත්පස්ව හිටිය ඒ ස්ථවිර භික්ෂුව ගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අසා වදාළා. “පින්වත් භික්ෂුව, මේක ඇත්තක්ද? ඔබ හුදෙකලාවේ ම ඉන්නවා කියන්නේ. හුදෙකලා වාසය ගැන ම වර්ණනා කරනවා කියන්නේ” “එසේ ය ස්වාමීනි.”

“පින්වත් ස්ථවිර, ඔබ හුදෙකලාවේ ඉන්නේ කොයි ආකාරයෙන්ද? හුදෙකලා වාසය ගැන වර්ණනා කරන්නේ කොයි ආකාරයෙන් ද?” “ස්වාමීනි, මෙහෙ මම හුදෙකලාවේ ම ගමට පිණ්ඩපාතෙ වඩිනවා. හුදෙකලාවේ ම ආපසු එනවා. හුදෙකලාවේ ම අප්‍රකටව වාඩි වෙනවා. හුදෙකලාවේ ම සක්මන් කරනවා. ඉතින් ස්වාමීනි, මං ඔන්න ඔය විදිහට යි හුදෙකලාවේ ඉන්නේ. ඔය විදිහටයි හුදෙකලා වාසය ගැන වර්ණනා කරන්නේ.”

අත්‌ථේසෝ ථේර ඒකවිහාරෝ. න සෝ නත්‌ථීති වදාමි. අපි ච ථේර යථා ඒකවිහාරෝ විත්ථාරේන පරිපුණ්‌ණෝ හෝති. තං සුණාහි සාධුකං මනසිකරෝහි. භාසිස්‌සාමී ති. ඒවං භන්තේ ති ඛෝ ථේරෝ භික්ඛු භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච.

“පින්වත් ස්ථවිර, ඔවැනි හුදෙකලා වාසයක් තියෙනවා තමයි. මං ඒක නෑ කියල කියන්නේ නෑ. නමුත් පින්වත් ස්ථවිර, හුදෙකලා වාසය විස්තර වශයෙන් සම්පූර්ණ වෙන්නේ යම් ආකාරයකින් ද අන්න ඒක මා ඔබට කියල දෙන්නම්. හොඳට අහගන්නට ඕන. නුවණින් මෙනෙහි කරන්නට ඕන. මා කියා දෙන්නම්.” “එසේ ය ස්වාමීනි” කියල ඒ ස්ථවිර භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

කථඤ්‌ච ථේර ඒකවිහාරෝ විත්ථාරේන පරිපුණ්‌ණෝ හෝති. ඉධ ථේර යං අතීතං තං පහීනං, යං අනාගතං තං පටිනිස්‌සට්‌ඨං. පච්‌චුප්‌පන්‌නේසු ච අත්‌තභාවපටිලාභේසු ඡන්‌දරාගෝ සුප්‌පටිවිනීතෝ. ඒවං ඛෝ ථේර ඒකවිහාරෝ විත්ථාරේන පරිපුණ්‌ණෝ හෝතී’ති. ඉදමවෝච භගවා. ඉදං වත්‌වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්‌ථා.

පින්වත් ස්ථවිර, හුදෙකලා වාසය විස්තර වශයෙන් සම්පූර්ණ වෙන්නේ කොහොමද? පින්වත් ස්ථවිර, මෙහි අතීත වූ යමක් තිබුණා නම් ඒ කෙරෙහි තිබුණ ආශාව නැතිවෙලා ගියා. ඒ වගේ ම අනාගතයේ යමක් ඇතිවෙනවා නම් ඒ කෙරෙහි තිබුණ ආශාවත් දුරු වෙලා ගියා. වර්තමාන ජීවිතය ගැන තිබෙන ඡන්ද රාගයත් මැනවින් ප්‍රහාණය කරලයි තියෙන්නේ. පින්වත් ස්ථවිර, ඔය විදිහට යි හුදෙකලා වාසය විස්තර වශයෙන් සම්පූර්ණ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළා.

සබ්‌බාභිභුං සබ්‌බවිදුං සුමේධං
සබ්‌බේසු ධම්මේසු අනූපලිත්‌තං
සබ්‌බං ජහං තණ්‌හක්‌ඛයේ විමුත්‌තං
තමහං නරං ඒකවිහාරීති බ්‍රෑමී’ති

සියලු කෙලෙස් මර්ධනය කරපු, සියලු දේ අවබෝධ කරපු, ඉතා හොඳ ප්‍රඥාවෙන් යුතු කෙනා සියලු දෙය කෙරෙහි ම ඇලෙන්නේ නෑ. සියලු දෙය අත්හැරපු තණ්හාව ක්ෂය වීම නම් වූ නිවනට පැමිණ දුකෙන් නිදහස් වූ යම් මනුෂ්‍යයෙක් වේ නම් අන්න ඔහු හුදෙකලා වාසයෙන් යුතු කෙනා කියලයි මම කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ථේරනාමක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M