390. මා හට අසන්නට ලැබුණේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එහි දී …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
පින්වත් මහණෙනි, දැන් කාලයේ ලීයෙන් කළ කොට්ට භාවිතා කරන ලිච්ඡවීන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමෙහි ප්‍රමාද වෙන්නේ නෑ. වීර්යවන්තයි. ඒ නිසා මගධයෙහි අජාසත් රජුට ඔවුන්ව ආක්‍රමණය කිරීමට අවශ්‍ය වන සිදුරක් ලැබෙන්නේ නෑ. අරමුණක් ලැබෙන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, අනාගත කාලයෙහි ඔය ලිච්ඡවීන් සියුමැළි වෙනවා. මුදු මොළොක් අත් පා ඇති වෙනවා. එතකොට ඔවුන් හොඳ පුළුන් කොට්ට තියෙන සුමුදු යහන්වල හිරු උදාවන තුරු ම හොඳට නිදියනවා. එතකොට මගධයේ අජාසත් රජතුමා විසින් ඔවුන්ව ආක්‍රමණය කිරීමට ඔවුන් ගේ සිදුරක් ලැබෙනවා. අරමුණක් ලැබෙනවා.
පින්වත් මහණෙනි, දැන් කාලයේ ලීයෙන් කළ කොට්ට භාවිතා කරන භික්ෂූන් කෙලෙස් දුරු කිරීමෙහි වීර්ය දැරීමෙහි ප්‍රමාද වෙන්නේ නෑ. වීර්යවන්තයි. ඒ නිසා පාපී වූ මාරයාට ඔවුන්ව ආක්‍රමණය කිරීමට අවශ්‍ය වන සිදුරක් ලැබෙන්නේ නෑ. අරමුණක් ලැබෙන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, අනාගත කාලයෙහි භික්ෂුන් සියුමැළි වෙනවා. මුදු මොළොක් අත් පා ඇති වෙනවා. එතකොට ඔවුන් හොඳ පුළුන් කොට්ට තියෙන සුමුදු යහන්වල හිරු උදාවන තුරු ම හොඳට නිදියනවා. එතකොට පාපී වූ මාරයා විසින් ඔවුන්ව ආක්‍රමණය කිරීමට ඔවුන් ගේ සිදුරක් ලැබෙනවා. අරමුණක් ලැබෙනවා.
ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහටයි හික්මෙන්නට ඕන. අපිනම් ලීවලින් කළ කොට්ට තමයි පාවිච්චි කරන්නේ. කෙලෙස් දුරු කිරීමෙහි යුක්ත වෙලා අප්‍රමාදීව වීරියවන්ත වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
කළිංගරූපධාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M