392. සැවැත් නුවරදී ……………
ඒ දිනවල එක්තරා භික්ෂුවක් දායක ගෙවල්වල බොහෝ කල් ගෙවෙන තුරු හැසිරෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත, ඔය දායක ගෙවල්වල බොහෝ කල් ගෙවෙන තුරු හැසිරෙන්නට එපා’ කියල. එතකොට භික්ෂූන්ගේ වචන අසන ඒ භික්ෂුව පැවිදි ජීවිතයට ඇලෙන්නේ නෑ.
එතකොට බොහෝ භික්ෂූන් …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනි, මෙහි එක්තරා භික්ෂුවක් දායක ගෙවල්වල බොහෝ කල් ගෙවෙන තුරු හැසිරෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත, ඔය දායක ගෙවල්වල බොහෝ කල් ගෙවෙන තුරු හැසිරෙන්ට එපා’ කියල. එතකොට ස්වාමීනි, භික්ෂූන් ගේ වචන අසන ඒ භික්ෂුව පැවිදි ජීවිතයට ඇලෙන්නේ නෑ.”
පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. එක්තරා බළලෙක් හිටියා. දවසක් මේ බළලා ගෙදරක පිළිකන්නේ හරි කුණු කාණුවක් ළග හරි කසළ ගොඩක් ළග හරි මෘදු මී පැටියෙක්ව ගොදුරු කරගන්ට ඕන කියල කුරුමානම් අල්ල අල්ල හිටියා. ගොදුරු හොයාගෙන ’ඔය මෘදු මී පැටික්කි එළියට ආපුදෙන්කො. මං එතැනදි ම අල්ලගෙන කාලා දානවා’ කියල. ඉතින් පින්වත් මහණෙනි, එදා ඒ මෘදු මී පැටියා ගොදුරු හොයාගෙන එළියට ආවා. එතකොට අර බළලා ඌව අල්ල ගත්තු ගමන් හපන්නේ නැතිව සැහැසි විදිහට ගිලගෙන ගියා. ඒ මෘදු මීයා තමන්ව ගිලපු අර බළලා ගේ බඩවැල් කන්නට පටන් ගත්තා. මහ බඩවැලත් කන්නට පටන් ගත්තා. ඒ හේතුව නිසා අර බළලා එක්කො මැරෙනවා. එක්කො මරණීය දුකට පත් වෙනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි. එක්තරා භික්ෂුවක් උදේ වරුවේ සිවුරු පොරවාගෙන පා සිවුරු අරගෙන ගමකට හරි පොඩි නගරයකට හරි පිණ්ඩපාතෙ වඩිනවා කියල හිතමු. හැබැයි මේ භික්ෂුව කය රැකගෙනත් නෑ. වචනය රැකගෙනත් නෑ. සිත රැකගෙනත් නෑ. සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙනත් නෑ. ඉන්ද්‍රියයන් අසංවර කර ගෙනයි ඉන්නේ.
එතකොට මේ භික්ෂුවට නොමනා විදිහට ඇඳුම් ඇඳගත් ස්ත්‍රියක් දැක ගන්නට ලැබෙනවා. නොමනා විදිහට ඇඳුම් ඇඳගත් ඒ ස්ත්‍රිය දැක්කට පස්සේ රාගය විසින් ඒ භික්ෂුව ගේ සිත වනසනවා. ඉතින් ඔහු ඒ රාගයෙන් වනසන ලද සිතින් එක්කො මැරිල යනවා. එක්කො මරණීය දුකට පත් වෙනවා. පින්වත් මහණෙනි, මේ සාසනය තුළ මරණය කියල කියන්නේ යම් කෙනෙක් ශික්ෂාව ප්‍රතික්ෂේප කරල සිවුරු හැර ගිහි බවට පත් වීමයි. ඒ වගේ ම පින්වත් මහණෙනි, මේ සාසනය තුළ මරණීය දුකට පත් වෙනවා කියල කියන්නේ ප්‍රතිකර්ම කළ යුතු කිලිටි සහිත ඇවැතකට පත්වීමයි.
එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහටයි ඔබ හික්මෙන්නට ඕන. අපි නම් ගමකට වේවා පොඩි නගරයකට වේවා පිණ්ඩපාතෙ වඩින්නේ කය රැකගෙන ම යි. වචනයත් රැකගෙන ම යි. සිතත් රැකගෙන ම යි. සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගෙන ම යි. ඉන්ද්‍රියයන් සංවර කර ගෙන ම යි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
බිළාල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M