සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.3.10. ඛීණාසව භික්ඛු සුත්තං

5.3.10. අරහත් භික්ෂුව ගැන වදාළ දෙසුම

326. සාවත්‌ථියං….

326. සැවැත් නුවරදී ……………

යෝපි සෝ භික්ඛවේ භික්‌ඛු අරහං ඛීණාසවෝ, තස්‌ස පාහං ලාභසක්‌කාරසිලෝකං අන්‌තරායාය වදාමී’ති.

පින්වත් මහණෙනි, අරහත් වූ ආශ්‍රවයන් ක්ෂය කළා වූ යම් භික්ෂුවක් ඉන්නවා නම්, ඒ භික්ෂුවට පවා ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනතුරුදායකයි කියලයි මම කියන්නේ.

ඒවං වුත්‌තේ ආයස්‌මා ආනන්‌දෝ භගවන්‌තං ඒතදවෝච. කිස්‌ස පන භන්තේ ඛීණාසවස්‌ස භික්‌ඛුනෝ ලාභසක්‌කාරසිලෝකෝ අන්‌තරායායා’ති?

එසේ වදාළ විට ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනි, ආශ්‍රවයන් ක්ෂය කළ භික්ෂුවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනතුරුදායක වන්නේ කොයි ආකාරයටද?”

යා හිස්‌ස සා ආනන්‌ද අකුප්‌පා චේතෝවිමුත්‌ති නාහං තස්‌සා ලාභසක්‌කාරසිලෝකං අන්‌තරායාය වදාමි. යේ ච ඛ්‌වස්‌ස ආනන්‌ද අප්‌පමත්‌තස්‌ස ආතාපිනෝ පහිතත්‌තස්‌ස විහරතෝ දිට්‌ඨධම්‌මසුඛවිහාරා අධිගතා, තේසාහමස්‌ස ලාභසක්‌කාරසිලෝකං අන්‌තරායාය වදාමි.

පින්වත් ආනන්දයෙනි, යම් අරහත් ඵල චිත්ත විමුක්තියක් වේ නම් ඒකට ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනතුරුදායක වෙනවා කියල මම කියන්නේ නෑ. නමුත් පින්වත් ආනන්දයෙනි, අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරද්දී මෙලොවදී සුව සේ වාසය කළ හැකි යම් ධ්‍යාන සමාපත්ති ආදිය ඇති වෙනවා නේ. අන්න ඒ මෙලොවදී ලැබෙන සැප විඳගන්නට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනතුරුදායක වෙනවා කියලයි මම කියන්නේ.

ඒවං දාරුණෝ ඛෝ ආනන්‌ද ලාභසක්‌කාරසිලෝකෝ කටුකෝ ඵරුසෝ, අන්‌තරායිකෝ අනුත්‌තරස්‌ස යෝගක්ඛේමස්‌ස අධිගමාය. තස්‌මාතිහ ආනන්‌ද ඒවං සික්‌ඛිතබ්‌බං. උප්‌පන්‌නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම, න ච නෝ උප්‌පන්‌නෝ ලාභසක්‌කාරසිලෝකෝ චිත්‌තං පරියාදාය ඨස්‌සතීති. ඒවං හි වෝ ආනන්‌ද සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් ආනන්දයෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායකයි. ඒ නිසා පින්වත් ආනන්ද, හික්මෙන්නට ඕන මේ විදිහට යි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිල තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අපගේ හිත යටවෙන්නට දෙන්නේ නෑ. පින්වත් ආනන්ද, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්න ඕන.

සාදු! සාදු!! සාදු!!!

ඛීණාසව භික්ඛු සූත්‍රය නිමා විය.

මාතුගාම වග්ගෝ තතියෝ.

තුන්වෙනි මාතුගාම වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං.

මාතුගාමෝ ච කල්‍යාණී ඒකපුත්‌තේක ධීතු ච,
සමණබ්‍රාහ්‌මණා තීණි ඡවි රජ්‌ජු ච භික්‌ඛු චේති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M