සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට කලින්ම, බුදු නොවී සිටියදීම, බෝසත්ව සිටියදීම (බෝධි මූලයේදී) මා හට මේ අදහස ඇතිවුණා. මේ පඨවි ධාතුවේ තිබෙන ආශ්වාදය මොකක්ද? ආදීනවය මොකක්ද? එයින් නිදහස් වීම (නිස්සරණය) මොකක්ද? මේ ආපෝ ධාතුවේ තිබෙන ආශ්වාදය මොකක්ද? ආදීනවය මොකක්ද? එයින් නිදහස් වීම (නිස්සරණය) මොකක්ද? මේ තේජෝ ධාතුවේ තිබෙන ආශ්වාදය මොකක්ද? ආදීනවය මොකක්ද? එයින් නිදහස් වීම (නිස්සරණය) මොකක්ද? මේ වායෝ ධාතුවේ තිබෙන ආශ්වාදය මොකක්ද? ආදීනවය මොකක්ද? එයින් නිදහස් වීම (නිස්සරණය) මොකක්ද?
එතකොට පින්වත් මහණෙනි, මා හට මේ අදහස ඇති වුණා. පඨවි ධාතුව හේතු කොටගෙන යම් කිසි සැපයක් සොම්නසක් උපදිනවා නම්, අන්න ඒක තමයි පඨවි ධාතුවේ ආශ්වාදය. පඨවි ධාතුව යම් අනිත්‍යයකින් යුක්තද, දුකකින් යුක්තද, වෙනස් වෙන ස්වභාවයකින් යුක්තද, අන්න ඒක තමයි පඨවි ධාතුවේ ආදීනවය. පඨවි ධාතුව කෙරෙහි තිබුණ ආශාවේ යම් දුරු කිරීමක් ඇත්ද, ආශාවේ යම් ප්‍රහාණය කිරීමක් ඇත්ද, අන්න ඒක තමයි පඨවි ධාතුවෙන් නිදහස් වීම. තේජෝ ධාතුව හේතු කොටගෙන ….(පෙ)…. ආපෝ ධාතුව හේතු කොටගෙන ….(පෙ)…. වායෝ ධාතුව හේතු කොටගෙන යම්කිසි සැපයක් සොම්නසක් උපදිනවා නම්, අන්න ඒක තමයි වායෝ ධාතුවේ ආශ්වාදය. වායෝ ධාතුව යම් අනිත්‍යයකින් යුක්ත ද, දුකකින් යුක්ත ද, වෙනස් වෙන ස්වභාවයකින් යුක්ත ද, අන්න ඒක තමයි වායෝ ධාතුවේ ආදීනවය. වායෝ ධාතුව කෙරෙහි තිබුණ ආශාවේ යම් දුරු කිරීමක් ඇත් ද, ආශාවේ යම් ප්‍රහාණය කිරීමක් ඇත් ද, අන්න ඒක තමයි වායෝ ධාතුවෙන් නිදහස් වීම.
පින්වත් මහණෙනි, මම මේ සතර ආකාර ධාතු පිළිබඳව ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනව ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් යථාභූත ඤාණයක් ලෙස යම්තාක් කල් අවබෝධ කළේ නැද්ද, පින්වත් මහණෙනි, ඒ තාක් කල්ම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය මම අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නේ නෑ.
පින්වත් මහණෙනි, මම මේ සතර ආකාර ධාතු පිළිබඳව ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනව ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් යථාභූත ඤාණයක් ලෙස යම් කලක අවබෝධ කරගත්තා ද, පින්වත් මහණෙනි, එතකොටයි දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය මම අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නේ. මගේ මේ අරහත් ඵල චිත්ත විමුක්තිය නොසෙල්වෙන දෙයක්. මේ මාගේ අවසාන උපතයි. ආයෙත් නම් පුනර්භවයක් නෑ කියල මා තුළ ඤාණදර්ශනය පහළ වුණා.
සාදු! සාදු!! සාදු!!!
පුබ්බ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M