සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.
පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා ගියා. එකතු වෙලා ගියා.
පින්වත් මහණෙනි, අනාගත කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යාවි.
පින්වත් මහණෙනි, වර්තමාන කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අසුචි අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ අසුචිත් එක්කමයි. මුත්‍රා අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ මුත්‍රාත් එක්කමයි. කෙළ අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ, කෙළත් එක්කමයි. සැරව අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ, සැරවත් එක්කමයි. ලේ අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ලේත් එක්කමයි.
ඔන්න ඔය විදිහමයි. පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, අතීතයේදී පවා ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගත කාලයේදී පවා ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමාන කාලයේ පවා ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්.
යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින් …..(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කිරි අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ කිරිත් එක්කමයි. තෙල් අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ තෙලත් එක්කමයි. ගිතෙල් අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ගිතෙලත් එක්කමයි. මී පැණි අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ මී පැණිත් එක්කමයි. පැණි අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පැණිත් එක්කමයි.
ඔන්න ඔය විදිහමයි. පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, අතීතයේදී පවා ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා …..(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙයත් වදාළා.
“ඇල්ම කරන්න ගියොත් තමයි කෙලෙස් වනය හටගන්නේ. ඇල්ම නොකිරීමෙන්මයි කෙලෙස් වනය සිඳෙන්නේ. ඒක පුංචි දර කැබැල්ලකට නැගලා ඉන්න කෙනෙක් මහ මුහුදේ ගිලෙනවා වගේ.
ඔන්න ඔය විදිහමයි. සිල්වත් කෙනෙක් වුණත් කම්මැලිකම නිසාම, නොමග ගිලෙනවා. එම නිසා හීන වීර්යය ඇති කම්මැලි පුද්ගලයාව දුරු කරන්න ඕන.
හුදෙකලා විවේකයෙහි ඇලුණ, දිවි දෙවෙනි කොට දහමෙහි හැසිරෙන, ධ්‍යාන වඩන, නිරතුරුවම පටන් ගත් වීර්යය ඇතිව සිටින, ආර්ය වූ, පණ්ඩිත උතුමන් සමඟයි ඇසුරේ ඉන්න ඕන.”
සාදු! සාදු!! සාදු!!!
සගාථ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M