සැවැත් නුවරදී ……………..
පින්වත් මහණෙනි, මේ ධාතූන් හතක් තියෙනවා. මොනවද ඒ ධාතු හත? ආලෝක ධාතුව, සුභ ධාතුව, ආකාසානඤ්චායතන ධාතුව, විඤ්ඤාණඤ්චායතන ධාතුව, ආකිඤ්චඤ්ඤායතන ධාතුව, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුව, සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුව කියන මේවා තමයි පින්වත් මහණෙනි, සප්ත ධාතූන් වන්නේ.
ඔය ආකාරයෙන් වදාළ විට, එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනී, යම් ආලෝක ධාතුවක් ඇද්ද, යම් සුභ ධාතුවක් ඇද්ද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් ඇද්ද, යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් ඇද්ද, යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් ඇද්ද, යම් සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් ඇද්ද, ස්වාමීනී, ඔය ධාතූන් ගැන කතා කළ හැක්කේ කුමක් හේතු කරගෙනද?”
“පින්වත් භික්ෂුව, යම් මේ ආලෝක ධාතුවක් ඇද්ද, මේ ධාතුව ගැන කතා කළ හැක්කේ අන්ධකාරය නිසාය. යම් මේ සුභ ධාතුවක් ඇද්ද, මේ ධාතුව ගැන කතා කළ හැක්කේ අසුභය නිසාය. යම් මේ ආකාසානඤ්චාතන ධාතුවක් ඇද්ද, මේ ධාතුව ගැන කතා කළ හැක්කේ (රූපාවචර ධ්‍යාන) නිසාය. යම් මේ විඤ්ඤාණඤ්චායතන ධාතුවක් ඇද්ද, මේ ධාතුව ගැන කතා කළ හැක්කේ ආකාසානඤ්චායතනය නිසාය. යම් මේ ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් ඇද්ද, මේ ධාතුව ගැන කතා කළ හැක්කේ විඤ්ඤාණඤ්චායතනය නිසාය. යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් ඇද්ද, මේ ධාතුව ගැන කතා කළ හැක්කේ ආකිඤ්චඤ්ඤායතනය නිසාය. යම් මේ සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් ඇද්ද, මේ ධාතුව ගැන කතා කළ හැක්කේ (ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාරයේත්, විතර්ක විචාර නම් වූ වචී සංස්කාරයේත්, සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාරයේත්) නිරෝධය නිසාය.”
“ස්වාමීනී, යම් ආලෝක ධාතුවක් ඇද්ද, යම් සුභ ධාතුවක් ඇද්ද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් ඇද්ද, යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් ඇද්ද, යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් ඇද්ද, යම් සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් ඇද්ද, ස්වාමීනී, ඔය ධාතූන්වලට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ කොයි සමාපත්ති වලින්ද?”
“පින්වත් භික්ෂුව, යම් මේ ආලෝක ධාතුවක් ඇද්ද, යම් මේ සුභ ධාතුවක් ඇද්ද, යම් මේ ආකාසානඤ්චායතන ධාතුවක් ඇද්ද, යම් මේ විඤ්ඤාණඤ්චායතන ධාතුවක් ඇද්ද, යම් මේ ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් ඇද්ද, ඔය ධාතූන්ට සමවදින්නට පුළුවන් වෙන්නේ සඤ්ඤා සමාපත්තිවලිනුයි. යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් ඇද්ද, ඔය ධාතුවට සමවදින්නට පුළුවන් වෙන්නේ සංස්කාර අවශේෂ සමාපත්තියෙනුයි. යම් මේ සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් ඇද්ද, ඔය ධාතුවට සමවදින්නට පුළුවන් වෙන්නේ නිරෝධ සමාපත්තියෙනුයි.”
සාදු! සාදු!! සාදු!!!
සත්ත ධාතු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M