සැවැත් නුවරදී ………….
පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.
පින්වත් මහණෙනි, හොඳින් වැඩෙන වෘක්ෂයක් තියෙනවා. එතැනට මනුස්සයෙක් ඇවිදින් කලින් කලට ඒ ගහේ මුල පිරිසිදු කරනවා. කලින් කලට පස් දානවා. කලින් කලට වතුර දානවා. ඔය විදිහට පින්වත් මහණෙනි, ඒ හොඳින් වැඩෙන වෘක්ෂය ඒ ආහාරයෙන්, ඒ උපාදානයෙන් තවදුරටත් හොඳට මුල් ඇදලා, හොඳට වැඩිලා විශාල ගහක් බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.
පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.
පින්වත් මහණෙනි, හොඳන් වැඩෙන වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් එතැනට උදැල්ලකුයි කූඩයකුයි අරගෙන එක මනුස්සයෙක් එනවා. ඒ පුද්ගලයා ඒ වෘක්ෂය මුලින්ම කපනවා. මුලින්ම කපලා ගහ වටේ යටට හාරනවා. ගහ වටේ යටට හාරලා අඩු ගණනේ සැවැන්දරා මුලක් තරම් වත් මුලක් ඉතුරු නොකොට හැම මුලක්ම උදුරනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ වෘක්ෂය කෑලි කෑලිවලට කපනවා. කෑලි කෑලිවලට කපල පලනවා. පලලා කොටස් කොටස් කරනවා. කොටස් කොටස් කරලා අව්වේ වේලනවා. අව්වේ වේලලා ගිනි තියනවා. ගිනි තියලා අළු බවට පත් කරනවා. අළු බවට පත් කරලා මහා සුළඟේ විසුරුවා හරිනවා. එහෙමත් නැත්නම් සැඩ දිය කඳ ඇති ගඟේ පා කොට හරිනවා. එතකොට පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ඒ හොඳින් වැඩෙන වෘක්ෂය මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගසක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කිසිදාක හට නොගන්නා ස්වභාවයට පත්වෙනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා…..(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
තරුණ රුක්ඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M