සැවැත් නුවරදී ………………
එදා එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම කරන්නෙත් ඔහු ද? විඳින්නෙත් ඔහුද?”
“පින්වත් බ්‍රාහ්මණය, ඔහු කරයි, ඔහු විඳියි යන මේ මතය එක අන්තයක්.”
“එහෙම නම් භවත් ගෞතමයන් වහන්ස, කරන්නේ වෙන කෙනෙක්ද? විඳින්නෙත් වෙන කෙනෙක්ද?”
“පින්වත් බ්‍රාහ්මණය, වෙන කෙනෙක් කරයි, වෙන කෙනෙක් විඳියි යන මේ මතය දෙවෙනි අන්තයයි.
පින්වත් බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසෙන්නේ. අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැස ම හටගන්නේ. ඒ අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැස ම නිරුද්ධ වෙලා යන්නේ.
ඔහොම වදාළ විට ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතාමත්ම සුන්දරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා ගැන දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
අඤ්ඤතර බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M