සැවැත් නුවර දී ………………
එදා අනාථපිණ්ඩික ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
පින්වත් ගෘහපතිය, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට පස් ආකාර බිය හා වෛරයන් සංසිඳී ගියොත්, සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වුණොත්, ඒ වගේම ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා, ඉතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත්, ඔහුට කැමති නම් තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්න පුළුවනි, ‘මම නම් නිරය ක්ෂය වෙලා ගිය කෙනෙක්. තිරිසන් යෝනිය ක්ෂය වෙලා ගිය කෙනෙක්. ප්‍රේත ලෝකය ක්ෂය වෙලා ගිය කෙනෙක්. අපාය නම් වූ දුගතියට වැටෙන ස්වභාවය ක්ෂය වෙලා ගිය කෙනෙක්. මම සෝතාපන්න කෙනෙක්. අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. නියත වශයෙන්ම ආර්ය සත්‍යාවබෝධය කරගන්නා කෙනෙක්’ය කියලා.
සංසිඳී යන පස් ආකාර වූ භය වෛරයන් මොනවාද?
පින්වත් ගෘහපතිය, සතුන් මරණ කෙනා සතුන් මැරීම හේතු කරගෙන මෙලොවදීම යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, පරලොවදීත් යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, මානසිකවත් යම් දුකක්, දොම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ භයත්, වෛරයත් සතුන් මැරීමෙන් වෙන්වුණ කෙනෙකුට සංසිඳී යනවා.
පින්වත් ගෘහපතිය, සොරකම් කරන කෙනා සොරකම් කිරීම හේතු කරගෙන මෙලොවදීම යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, පරලොවදිත් යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, මානසිකවත් යම් දුකක්, දොම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ භයත්, වෛරයත් සොරකම් කිරීමෙන් වෙන්වුණ කෙනෙකුට සංසිඳී යනවා.
පින්වත් ගෘහපතිය, වැරදි කාම සේවනයේ යෙදෙන කෙනා වැරදි කාම සේවනයේ යෙදීම හේතු කරගෙන මෙලොවදීම යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, පරලොවදිත් යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, මානසිකවත් යම් දුකක්, දොම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ භයත්, වෛරයත් වැරදි කාම සේවනයේ යෙදීමෙන් වෙන්වුණ කෙනෙකුට සංසිඳී යනවා.
පින්වත් ගෘහපතිය, බොරු කියන කෙනා බොරු කීම හේතු කරගෙන මෙලොවදීම යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, පරලොවදිත් යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, මානසිකවත් යම් දුකක්, දොම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ භයත්, වෛරයත් බොරු කීමෙන් වෙන්වුණ කෙනෙකුට සංසිඳී යනවා.
පින්වත් ගෘහපතිය, මත් වීමටත්, ප්‍රමාද වීමටත් හේතුවන සුරාව හා මත් ද්‍රව්‍ය පානය කරන කෙනා මත් වීමටත්, ප්‍රමාද වීමටත් හේතුවන සුරාව හා මත් ද්‍රව්‍ය පානය කිරීම හේතු කරගෙන මෙලොවදීම යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, පරලොවදිත් යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, මානසිකවත් යම් දුකක්, දොම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ භයත්, වෛරයත් මත් වීමටත්, ප්‍රමාද වීමටත් හේතුවන සුරාව හා මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වෙන් වුන කෙනෙකුට සංසිඳී යනවා.
මෙන්න මේ භය වෛරයන් පහ තමයි සංසිඳී යන්නේ.
කොයි ආකාර වූ සෝතාපත්ති අංග හතරකින්ද යුක්ත වුණේ?
පින්වත් ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු නිසා අරහං වන සේක! සම්මා සම්බුද්ධ වන සේක! විද්‍යාවෙන් හා චරණ දහමෙන් සමන්විත වන සේක! සුගත වන සේක! සකල ලෝකයන් ගැනම දන්නා සේක! පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර වූ නායකයාණන් වන සේක! දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘවරයාණන් වන සේක! තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය අන් අයටත් පවසාලන සේක! භාග්‍යවන්ත වන සේක!’ කියලා බුදු සමිඳාණන් ගැන අවබෝධාත්මක පැහැදීමකිනුයි යුක්තව සිටින්නේ.
‘මේ ධර්මය නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාළ දෙයක්! මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න පුළුවන්! අකාලිකයි! ඇවිත් බලන්න කියලා පෙන්වා දෙන්න පුළුවන්! තමා තුළ දියුණු කරගන්න පුළුවන්! බුද්ධිමත් උදවියට වෙන් වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්!’ කියලා ශ්‍රී සද්ධර්මය ගැනත් අවබෝධාත්මක පැහැදීමකින්මයි ඉන්නේ.
‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන රාග, ද්වේෂ, මෝහ නසාලන පිළිවෙතට බැස ගත් සේක! භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඍජු වූ ආර්ය මාර්ගයෙහි බැස ගත් සේක! භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රවක සඟරුවන සත්‍යාවබෝධයෙහි බැස ගත් සේක! භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන යහපත් දහම් පිළිසඳරෙහි බැස ගත් සේක! මාර්ගඵල ලාභී ආර්ය පුද්ගලයන් යුගල වශයෙන් සතරක්ද, මාර්ගයේ සිටින හා ඵලයට පත් වූ පුද්ගලයන් වශයෙන් අටක් ද වන සේක! භාග්‍යවතුන්ගේ මේ සඟරුවන දුර සිට දන් පැන් ගෙනවිත් පිළිගන්වන්නට සුදුසු වන සේක! ආගන්තුක සත්කාරයට සුදුසු වන සේක! පින් සළකා දෙන පුද පූජාවන් ලැබීමට සුදුසු වන සේක! වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වන සේක! ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වන සේක!’ කියලා ශ්‍රාවක සඟරුවන ගැනත් අවබෝධාත්මක පැහැදීමකින්මයි ඉන්නේ.
ඒ වගේම කැඩිලා නැති, සිදුරු නැති, කැළැල් නැති, ගර්හා නැති, නිදහස් වූ, නුවණැත්තන් විසින් පසසන, මිත්‍යා දෘෂ්ටිවලින් බැහැර වූ, සමාධිය පිණිස පවතින්නා වූ ආර්යකාන්ත සීලයෙනුත් යුක්ත වෙලයි ඉන්නේ.
ඔන්න ඔය සෝතාපත්ති අංග හතරෙන් තමයි යුක්ත වෙලා ඉන්නේ.
ඔහුට කොයි ආකාරයේ ආර්ය න්‍යායක් ද අවබෝධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් අවබෝධ වෙලා තියෙන්නේ?
පින්වත් ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා පටිච්චසමුප්පාදයමයි ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්නේ. ඔය විදිහට ‘මෙය තිබුණොත් තමයි මෙය ඇතිවෙන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙන කොට මෙය නිරුද්ධ වෙලා යනවා’ කියලා.
ඒ කියන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාව සහමුළින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. මෙන්න මේ ආර්ය න්‍යාය ඔහු තුළ අවබෝධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් අවබෝධ වෙලා තියෙන්නේ.
පින්වත් ගෘහපතිය, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට මෙන්න මේ පස් ආකාර බිය හා වෛරයන් සංසිඳී ගියොත්, මේ සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වුණොත්, ඒ වගේම මේ ආර්ය න්‍යායත් ප්‍රඥාවෙන් අවබෝධ වෙලා, ඉතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත්, ඔහුට කැමති නම් තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්න පුළුවනි, ‘මම නම් නිරය ක්ෂය වෙලා ගිය කෙනෙක්. තිරිසන් යෝනිය ක්ෂය වෙලා ගිය කෙනෙක්. ප්‍රේත ලෝකය ක්ෂය වෙලා ගිය කෙනෙක්. අපාය නම් වූ දුගතියට වැටෙන ස්වභාවය ක්ෂය වෙලා ගිය කෙනෙක්. මම සෝතාපන්න කෙනෙක්. අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. නියත වශයෙන්ම ආර්ය සත්‍යාවබෝධය කරගන්නා කෙනෙක්’ය කියලා.
සාදු! සාදු!! සාදු!!!
පඤ්ච භයවේර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M