සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.4.10. තතිය චේතනා සුත්තං

1.4.10. චේතනාව ගැන වදාළ තෙවෙනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවර දී …………..

යඤ්‌ච භික්ඛවේ, චේතේති, යඤ්‌ච පකප්‌පේති, යඤ්‌ච අනුසේති, ආරම්‌මණමේතං හෝති විඤ්‌ඤාණස්‌ස ඨිතියා. ආරම්‌මණේ සති පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස හෝති. තස්‌මිං පතිට්‌ඨිතේ විඤ්‌ඤාණේ විරූළ්‌හේ නති හෝති. නතියා සති ආගතිගති හෝති. ආගතිගතියා සති චුතූපපාතෝ හෝති. චුතූපපාතේ සති ආයතිං ජාතිජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා සම්‌භවන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, යමක් ගැන සිතනවා නම්, යමක් ගැන කල්පනා කරනවා නම්, යම් දෙයක් චිත්තාභ්‍යන්තරයේ පවත්වනවා නම්, විඤ්ඤාණය පවතින්න අරමුණක් වන්නේ ඒකමයි. අරමුණක් තිබුණොත් තමයි විඤ්ඤාණයේ පැවැත්මට පිහිටක් තියෙන්නේ. ඒ අරමුණ තුළ පිහිටි විඤ්ඤාණය වර්ධනය වීමෙන් තමයි තණ්හාව ඇතිවෙන්නේ. තණ්හාව තිබුණොත් තමයි ඒමක් යෑමක් තියෙන්නේ. ඒමක් යෑමක් තිබුණොත් තමයි චුතියක් උපතක් තියෙන්නේ. චුතියක් උපතක් තිබුණොත් තමයි ඉපදීම, ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නේ. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසේම හටගැනීම සිදුවන්නේ.

නෝ චේ භික්ඛවේ, චේතේති, නෝ චේ පකප්‌පේති, අථ චේ අනුසේති ආරම්‌මණමේතං හෝති විඤ්‌ඤාණස්‌ස ඨිතියා. ආරම්‌මණේ සති පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස හෝති. තස්‌මිං පතිට්‌ඨිතේ විඤ්‌ඤාණේ විරූළ්‌හේ නති හෝති. නතියා සති ආගතිගති හෝති. ආගතිගතියා සති චුතූපපාතෝ හෝති. චුතූපපාතේ සති ආයතිං ජාතිජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා සම්‌භවන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, යමක් ගැන සිතන්නෙ නැත්නම්, යමක් ගැන කල්පනා කරන්නෙත් නැත්නම්, නමුත් යම් දෙයක් චිත්තාභ්‍යන්තරයේ පවත්වනවා නම්, විඤ්ඤාණය පවතින්නට අරමුණක් වන්නේ ඒකමයි. අරමුණක් තිබුණොත් තමයි විඤ්ඤාණයේ පැවැත්මට පිහිටක් තියෙන්නේ. ඒ අරමුණ තුළ පිහිටි විඤ්ඤාණය වර්ධනය වීමෙන් තමයි තණ්හාව ඇතිවෙන්නේ. තණ්හාව තිබුණොත් තමයි ඒමක් යෑමක් තියෙන්නේ. ඒමක් යෑමක් තිබුණොත් තමයි චුතියක් උපතක් තියෙන්නේ. චුතියක් උපතක් තිබුණොත් තමයි ඉපදීම, ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නේ. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසේම හටගැනීම සිදුවන්නේ.

යතෝ ච ඛෝ භික්ඛවේ, නෝ චේව චේතේති, නෝ ච පකප්‌පේති, නෝ ච අනුසේති, ආරම්‌මණමේතං න හෝති විඤ්‌ඤාණස්‌ස ඨිතියා. ආරම්‌මණේ අසති පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස න හෝති. තදප්‌පතිට්‌ඨිතේ විඤ්‌ඤාණේ අවිරූළ්‌හේ නති න හෝති. නතියා අසති ආගතිගති න හෝති. ආගතිගතියා අසති චුතූපපාතෝ න හෝති. චුතූපපාතේ අසති ආයතිං ජාති ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් මහණෙනි, යමක් ගැන සිතන්නෙ නැත්නම්, යමක් ගැන කල්පනා කරන්නෙත් නැත්නම්, ඒ වගේම යම් දෙයක් චිත්තාභ්‍යන්තරයේ පවත්වන්නෙත් නැත්නම්, විඤ්ඤාණයේ පැවැත්මට අරමුණක් නැතුව යනවා. අරමුණක් නොතිබීමෙන් විඤ්ඤාණයේ පැවැත්මට පිහිටක් නැතුව යනවා. ඒ අරමුණ තුළ නොපිහිටි විඤ්ඤාණය වර්ධනය නොවීමෙන් තමයි තණ්හාව නැතුව යන්නේ. තණ්හාව නැතිවීමෙන් ඒමක් යෑමක් නැතුව යනවා. ඒමක් යෑමක් නොතිබීමෙන් චුතියක් උපතක් නැතුව යනවා. චුතියක් උපතක් නොතිබීමෙන් ඉපදීම, ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

සාදු! සාදු!! සාදු!!!

තතිය චේතනා සූත්‍රය නිමා විය.

කළාරඛත්‌තියවග්ගෝ චතුත්‌ථෝ.

හතරවෙනි කළාරඛත්තිය වර්ගය අවසන් විය

තත්‍රැද්‌දානං.

භූතමිදං කළාරඤ්‌ච දුවෙ ච ඤාණවත්‌ථුනි,
අවිජ්‌ජාපච්‌චයා ච ද්වේ නතුම්‌හ චේතනා තයෝති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M