සැවැත් නුවරදී ……………..
පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.
පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල සිටින ඒ ඒ සත්වයන්ගේ දිරා යාමක්, මහලු වන ස්වභාවයක්, දත් වැටීමක්, කෙස් පැහීමක්, ඇඟපත රැළි වැටීමක්, ආයුෂ පිරිහී යාමක් ඇද්ද, ඇස්, කණ් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි ජරාව කියල කියන්නේ.
ඒ ඒ සත්වයන් ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක්, චුත වන ස්වභාවයක්, බිඳීයාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීයාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, ජීවිතය නම් වූ ඉන්ද්‍රියෙහි යම් බිඳී යාමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ. මේ විදිහට මේ ජරාවත්, මේ මරණයත් කියන මෙයටයි, පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ.
ඉපදීම හටගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වන්නේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝක තුළ ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක් ඇද්ද, විශේෂ උපතක් ඇද්ද, මව් කුසක බැසගැනීමක් ඇද්ද, උපතක් ඇද්ද, විශේෂයෙන් උපදින බවක් ඇද්ද, ස්කන්ධයන්ගේ පහළ වීමක් ඇද්ද, ඇස් කණ් ආදී ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද, මෙයටයි පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ.
භවය හටගැනීමෙනුයි ඉපදීම හටගන්නේ. භවය නිරුද්ධ වීමෙනුයි ඉපදීම නිරුද්ධ වන්නේ. ඉපදීම නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, භවය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, උපාදාන කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, විඳීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, ස්පර්ශය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, ආයතන හය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, නාමරූප කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ මොනවාද? පින්වත් මහණෙනි, තුන් ආකාරයක සංස්කාර තියෙනවා. එනම්, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන මෙයයි.
අවිද්‍යාව හටගැනීමෙනුයි සංස්කාර හටගන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙනුයි සංස්කාර නිරුද්ධ වන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයාට ඔය විදිහට හේතූන් පිළිබඳව අවබෝධ වුණොත්, ඔය විදිහට හේතූන්ගේ හටගැනීම පිළිබඳව අවබෝධ වුණොත්, ඔය විදිහට හේතූන්ගේ නිරුද්ධ වීම පිළිබඳව අවබෝධ වුණොත්, ඔය විදිහට හේතූන් නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල පිළිබඳව අවබෝධ වුණොත් පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයාටයි සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියලා කියන්නේ. ආර්ය සත්‍යය දර්ශනයෙන් යුක්ත කෙනා කියන්නේ. මේ සද්ධර්මය වෙත පැමිණුන කෙනා කියන්නේ. මේ සද්ධර්මය දකින කෙනා කියන්නේ. ආර්ය මාර්ගයෙහි හික්මෙන නුවණැත්තා කියන්නේ. ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියන්නේ. මේ දහම් සැඩ පහරට පැමිණුන කෙනා කියන්නේ. ආර්ය භාවයට පත්කරවන කළකිරීමෙන් යුතු කෙනා කියන්නේ. ඒ අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
පච්චය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M