සැවැත් නුවරදී ………………
පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් අඳුරු වී ගිහින්, තණ්හාවෙන් යුක්තව සිටින බාලයාගේ මේ ජීවිතය හටගෙන තිබෙන්නේ මේ විදිහටයි. ඉතින් ඔය විදිහට මේ ජීවිතයත්, බාහිර නාමරූපත් කියන මේ කරුණු දෙක බැගින් හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ආයතන හයත් තියෙනවා. මේවායින් හෝ මෙයින් එක්තරා දෙයකින් පහස ලබන කොට බාලයා සැප දුක් විඳිනවා.
“පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් අඳුරු වී ගිහින්, තණ්හාවෙන් යුක්තව සිටින පණ්ඩිතයාගේ මේ ජීවිතය හටගෙන තිබෙන්නේ මේ විදිහටයි. ඉතින් ඔය විදිහට මේ ජීවිතයත්, බාහිර නාමරූපත් කියන මේ කරුණු දෙක බැගින් හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ආයතන හයත් තියෙනවා. මේවායින් හෝ මෙයින් එක්තරා දෙයකින් පහස ලබන කොට පණ්ඩිතයා සැප දුක් විඳිනවා.
ඉතින් පින්වත් මහණෙනි, ඔය කරුණේදී බාලයාගෙන් පණ්ඩිතයා වෙනස් වෙන්නේ කවර විශේෂයක් මතද? කවර ප්‍රයෝගයක් මතද? කවර වෙනස්කමක් මතද?”
“ස්වාමීනී, අපගේ ධර්මය තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ගෙනයි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ගෙනයි. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ගෙනයි. ස්වාමීනී, ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට වැටහෙන සේක්වා! භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසා ගෙනමයි මේ භික්ෂූන් වහන්සේලා මතකයේ දරා සිටින්නේ.”
“එහෙනම් පින්වත් මහණෙනි, හොඳින් අහගන්න ඕන. ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.”
“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී මෙම දේශනය වදාළා.
“පින්වත් මහණෙනි, යම් අවිද්‍යාවකින් බාලයා අඳුරු වෙලා ඉන්නවා නම්, යම් තණ්හාවකින් යුක්ත වෙලා ඉන්නවා නම්, ඔහුගේ ජීවිතය හටගත්තේ යමකින් ද, ඒ අවිද්‍යාවමයි බාලයාට ප්‍රහාණය වෙලා නැත්තේ. ඒ තණ්හාවමයි බාලයා තුළ ක්ෂය වෙලා නැත්තේ. ඒකට හේතුව මොකක්ද? මනා කොට දුක් ක්ෂය වීම පිණිස පවතින (ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ) බඹසර ජීවිතයේ හැසිරිලා නෑ. ඒ නිසාම බාලයා කය බිඳී මැරී යාමෙන් පසු කයක් කරාම යනවා. කයක් කරා පැමිණි ඒ බාලයා ඉපදීමෙන් නිදහස් වෙන්නේ නෑ. ජරා මරණයෙන් නිදහස් වෙන්නේ නෑ. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙන්නේ නෑ. දුකෙන් නිදහස් වෙන්නෙ නෑ කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, යම් අවිද්‍යාවකින් පණ්ඩිතයා අඳුරු වෙලා ඉන්නවා නම් යම් තණ්හාවකින් යුක්ත වෙලා ඉන්නවා නම්, ඔහුගේ ජීවිතය හටගත්තේ යමකින් ද, ඒ අවිද්‍යාවමයි පණ්ඩිතයාට ප්‍රහාණය වෙලා තියෙන්නේ. ඒ තණ්හාවමයි පණ්ඩිතයා තුළ ක්ෂය වෙලා තියෙන්නේ. ඒකට හේතුව මොකක්ද? මනා කොට දුක් ක්ෂය වීම පිණිස පවතින (ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ) බඹසර ජීවිතයේ හැසිරුණ නිසා. ඒ නිසාම පණ්ඩිතයා කය බිඳී මැරී යාමෙන් පසු කයක් කරා එන්නේ නෑ. කයක් කරා නොපැමිණි ඒ පණ්ඩිතයා ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරා මරණයෙන් නිදහස් වෙනවා. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, ඔය කරුණේදී බාලයාගෙන් පණ්ඩිතයා වෙනස් වෙන විශේෂත්වය මේකයි. ප්‍රයෝගය මේකයි. වෙනස්කම මේකයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හැසිරීමයි.”
සාදු! සාදු!! සාදු!!!
බාල පණ්ඩිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M