මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමියක් වූ වේළුවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරවා ගෙන, පා සිවුරු රැගෙන රජගහ නුවරට පිණ්ඩපාතයේ වැඩියා. එහිදී (නිරුවත් තවුසෙක් වූ) අචේලකස්සපට දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේව දැකගන්න ලැබුණා. දැකලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා බස් කළා. පිළිසඳර කතාව අවසන් කළ අචේලකස්සප එකත්පස්ව හිටගත්තා. එකත්පස්ව සිටගත් අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා.
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් අපට ප්‍රශ්නයක් අසන්නට අවසර දෙනවා නම්, අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් යම්කිසි කාරණයක් අසන්නට කැමතියි.”
“පින්වත් කස්සප, මේ ප්‍රශ්න අසන වෙලාවක් නොවෙයි නේ. ගමට පිණ්ඩපාතේ පැමිණි වෙලාව නේ.” එතකොට අචේලකස්සප දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් අපට ප්‍රශ්නයක් අසන්නට අවසර දෙනවා නම්, අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් යම්කිසි කාරණයක් අසන්නට කැමතියි.”
“පින්වත් කස්සප, මේ ප්‍රශ්න අසන වෙලාවක් නොවෙයි නේ. ගමට පිණ්ඩපාතේ පැමිණි වෙලාව නේ.” එතකොට අචේලකස්සප තුන්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් අපට ප්‍රශ්නයක් අසන්නට අවසර දෙනවා නම්, අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් යම්කිසි කාරණයක් අසන්නට කැමතියි.”
“පින්වත් කස්සප, මේ ප්‍රශ්න අසන වෙලාවක් නොවෙයි නේ. ගමට පිණ්ඩපාතේ පැමිණි වෙලාව නේ.”
මෙසේ වදාළ විට අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, අපි බොහෝ කාරණා අසන්නට කැමැති නෑ.”
“එහෙම නම් පින්වත් කස්සප, ඒ කැමැති වූ කරුණ අසන්න.”
“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක තමා විසින් හදපු දෙයක්ද?” “පින්වත් කස්සප, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක අනුන් විසින් හදපු දෙයක්ද?” “පින්වත් කස්සප, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක තමා විසිනුත්, අනුන් විසිනුත් හදපු දෙයක්ද?” “පින්වත් කස්සප, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක තමා විසිනුත් නොහදපු, අනුන් විසිනුත් නොහදපු, ඉබේ හටගත්තු දෙයක්ද?” “පින්වත් කස්සප, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම එහෙනම් දුක නැද්ද?” “පින්වත් කස්සප, දුක නැතුවා නොවෙයි. පින්වත් කස්සප, ඇත්තෙන්ම දුක තියෙනවා” කියල වදාළා.
“එහෙනම් භවත් ගෞතමයන් වහන්සේ දුක දන්නේ නැද්ද? දුක දකින්නේ නැද්ද?” “පින්වත් කස්සප, මම දුක නොදන්න කෙනෙක් නොවේ. මම දුක නොදකින කෙනෙකුත් නොවේ. පින්වත් කස්සප, ඇත්තෙන්ම මම දුක දන්නවා. මම දුක දකිනවා.”
“එහෙනම් භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක තමා විසින් හදපු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් කස්සප, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක අනුන් විසින් හදපු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් කස්සප, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක තමා විසිනුත්, අනුන් විසිනුත් හදපු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් කස්සප, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම දුක තමා විසිනුත් නොහදපු, අනුන් විසිනුත් නොහදපු, ඉබේ හටගත්තු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් කස්සප, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම එහෙනම් දුක නැද්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් කස්සප, දුක නැතුවා නොවෙයි. පින්වත් කස්සප, ඇත්තෙන්ම දුක තියෙනවා’ කියල වදාළා.
‘එහෙනම් භවත් ගෞතමයන් වහන්සේ දුක දන්නේ නැද්ද? දුක දකින්නේ නැද්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් කස්සප, මම දුක නොදන්න කෙනෙක් නොවේ. මම දුක නොදකින කෙනෙකුත් නොවේ. පින්වත් කස්සප, ඇත්තෙන්ම මම දුක දන්නවා. මම දුක දකිනවා’ කියල වදාළා.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට දුක ගැන පවසන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට දුක ගැන දේශනා කරන සේක්වා!”
“පින්වත් කස්සප, ‘ඔහු තමයි කරන්නේ, ඔහුමයි විඳින්නේ’ යන අදහස නම් මුලින්ම තියෙන්නේ, එතකොට ‘තමා විසින් කරපු දුකක් තිබේ’ කියන (ස්ථිර යමක් තිබෙනවා යන) ශාස්වත දෘෂ්ටියට ඒක අයිති වෙනවා. ඒ වගේම පින්වත් කස්සප, ‘කරන්නේ වෙනින් කෙනෙක්, විඳින්නේ වෙනින් කෙනෙක්’ යන අදහසින් යුතුව වේදනාවෙන් පෙළෙන කෙනෙකුට ‘අනුන් විසින් කරපු දුකක් තිබේ’ කියා (ඒක නැත්තට නැති වී යනවා යන) උච්ඡේද දෘෂ්ටිය ලැබෙනවා.
පින්වත් කස්සප, ඔය අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙනුයි දහම් දෙසන්නේ. එනම් අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.
අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ’.
මෙසේ වදාළ විට අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියා සිටියා. “ස්වාමීනී, ඉතා සුන්දරයි! ස්වාමීනී, ඉතා සුන්දරයි! යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. …. (පෙ) …. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වා ගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ළඟ මට ද පැවිද්ද ලැබේවා! උපසම්පදාව ලැබේවා!”
“පින්වත් කස්සප, කලින් වෙන ආගමක හිටිය කෙනෙක් මේ ධර්ම විනය තුළ පැවිදි බව කැමති වෙනවා නම්, උපසම්පදාව කැමති වෙනවා නම්, ඔහු මාස හතරක පුහුණුවක් ලබන්නට ඕන. ඒ හාරමාසයේ පුහුණුවෙන් පසු භික්ෂූන් වහන්සේලා ඒ ගැන සතුටට පත්ව කැමති වුණොත් භික්ෂුභාවය පිණිස පැවිදි කරාවි. උපසම්පදා කරාවි.”
“මම අවුරුදු හතරක් වුණත් පුහුණු වෙන්නම්. ඒ සතර අවුරුද්දේ පුහුණුවෙන් පසු භික්ෂූන් වහන්සේලා ඒ ගැන සතුටට පත්ව කැමති වුණොත් මාව භික්ෂුභාවය පිණිස පැවිදි කරන සේක්වා! උපසම්පදා කරන සේක්වා!”
ඉතින් අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිද්ද ලැබුවා. උපසම්පදාවත් ලැබුවා. උපසම්පදා වෙලා සුළු කලකින් ආයුෂ්මත් කස්සපයන් හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන විට, යම් උතුම් අරහත්වය පිණිස කුලපුත්‍රයන් මැනැවින් ම ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනේ පැවිදි වෙනවා නම්, අන්න ඒ නිවන් මගේ කෙලවර වන අනුත්තර වූ අරහත්වය මේ ජීවිතයේදීම තමා තුළ ඇති කරගත් විශේෂ අවබෝධය තුළින් සාක්ෂාත් කරගෙන වාසය කළා. ඉපදීම ක්ෂය කළා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙමත් උපතක් නැතැයි අවබෝධ වුණා. ආයුෂ්මත් අචේලකස්සප තෙරුන් රහතන් වහන්සේලා අතර කෙනෙක් වුණා.
සාදු! සාදු!! සාදු!!!
අචේලකස්සප සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M