සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.2.5. කච්චානගොත්ත සුත්තං

1.2.5. කච්චානගොත්ත තෙරුන් හට වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………..

අථ ඛෝ ආයස්‌මා කච්‌චානගොත්‌තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්‌තං නිසින්නෝ ඛෝ ආයස්‌මා කච්‌චානගොත්‌තෝ භගවන්‌තං ඒතදවෝච. ‘සම්‌මාදිට්‌ඨි සම්‌මාදිට්‌ඨී’ති භන්තේ වුච්‌චති. කිත්‌තාවතා නු ඛෝ භන්තේ සම්‌මාදිට්‌ඨි හෝතී’ති?

එදා ආයුෂ්මත් කච්චානගොත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් කච්චානගොත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, ‘සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය’ කියල කියනවා. ස්වාමීනී, සම්මා දිට්ඨිය ඇතිවන්නේ කොපමණකින්ද?”

ද්‌වයංනිස්‌සිතෝ ඛෝ’යං කච්‌චාන ලෝකෝ යේභුය්‍යේන. අත්‌ථිතඤ්‌චේව නත්‌ථිතඤ්‌ච. ලෝකසමුදයං ච ඛෝ කච්‌චාන යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සතෝ යා ලෝකේ නත්‌ථිතා, සා න හෝති. ලෝකනිරෝධං ඛෝ කච්‌චාන යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සතෝ යා ලෝකේ අත්‌ථිතා, සා න හෝති. උපායුපාදානාභිනිවේසවිනිබද්ධෝ ඛ්‌වායං කච්‌චාන ලෝකෝ යේභුය්‍යේන තඤ්‌ච උපායුපාදානං චේතසෝ අධිට්‌ඨානං අභිනිවේසානුසයං න උපේති, න උපාදියති, නාධිට්‌ඨාති ‘අත්‌තා මේ’ති. දුක්‌ඛමේව උප්‌පජ්‌ජමානං උප්‌පජ්‌ජති, දුක්‌ඛං නිරුජ්‌ඣමානං නිරුජ්‌ඣතීති න කංඛති. න විචිකිච්‌ඡති. අපරප්පච්‌චයා ඤාණමේවස්‌ස එත්‌ථ හෝති. එත්‌තාවතා ඛෝ කච්‌චාන සම්‌මාදිට්‌ඨි හෝති.

“පින්වත් කච්චාන, මේ ලෝක සත්වයා බොහෝ සෙයින්ම (මරණින් මතු ස්ථිර වූ පැවැත්මක්) තිබෙන බවක්ද, (මරණින් මතු සත්වයා නැති වී උච්ඡේදයට පත් වී) නැති වී යන බවක්ද, කියන මත දෙක ඇසුරු කරගෙනයි ඉන්නේ. එනමුත් පින්වත් කච්චාන, (ජීවිතය නම් වූ මේ) ලෝකයේ හටගැනීම ඒ ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවකින් දකිද්දී ලෝකය පිළිබඳව යම් නැතිවී යාමක් ගැන මතයක් තිබේ නම් ඒ මතය නැතිවෙලා යනවා. එමෙන්ම පින්වත් කච්චාන, (ජීවිතය නම් වූ මේ) ලෝකයේ නිරුද්ධ වීම ඒ ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවකින් දකිද්දී ලෝකය තිබෙන බවක් පිළිබඳව යම් මතයක් තිබේ නම් ඒ මතය නැතිවෙලා යනවා.

පින්වත් කච්චාන, මේ ලෝක සත්වයා බොහෝ සෙයින්ම ලෝකය තුළ බැසගෙන, එයටම බැඳී, එහිම ගැලී, එයින් ම බැඳී ගිහිල්ලයි සිටින්නේ. ඉතින් ඒ ආකාරයන් ලෝකය තුළ බැසගෙන, එයට බැඳී සිතින් අදිටන් කරගෙන, එහිම ගැලී, ඒ තුළම සිටින්නේ නැත්නම්, බැඳී යන්නේ නැත්නම්, ‘මගේ ආත්මය’ කියල අදිටන් කරගන්නේ නැත්නම්, උපදින විට උපදින්නේ දුකක්ම බවත්, නිරුද්ධ වන විට නිරුද්ධ වන්නෙත් දුක බවත් යන මේ කරුණ සැක කරන්නේ නැත්නම්, විචිකිච්ඡා කරන්නේ නැත්නම්, ඒ ගැන ඔහුට බාහිර උපකාරයකින් තොර වූ අවබෝධයක් තියෙනවා. පින්වත් කච්චාන, මෙපමණකින්ම සම්මා දිට්ඨිය ඇතිවෙනවා.

සබ්‌බමත්‌ථීති ඛෝ කච්‌චාන. අයමේකෝ අන්‌තෝ. සබ්‌බං නත්‌ථීති අයං දුතියෝ අන්‌තෝ. ඒතේ තේ කච්‌චාන උභෝ අන්තේ අනුපගම්‌ම මජ්ඣේන තථාගතෝ ධම්‌මං දේසේති. අවිජ්‌ජාපච්‌චයා සංඛාරා. සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති. අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ. සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් කච්චාන ‘සියල්ල තිබෙනවා’ යන මේ මතය එක අන්තයක්. ‘සියල්ල නැත’ යන මේ මතය දෙවන අන්තයයි. පින්වත් කච්චාන මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙනුයි තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

කච්චානගොත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M