සැවැත් නුවරදී….
“පින්වත් මහණෙනි, මා ඔබට පටිච්චසමුප්පාදය ගැන කියා දෙන්නම්. විස්තර වශයෙන් කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.”
“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.
පින්වත් මහණෙනි, පටිච්චසමුප්පාදය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කරගෙන නාම රූප ඇතිවෙනවා. නාමරූප හේතු කරගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම (භවය) හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා-මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගන්නවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, මේකට තමයි පටිච්චසමුප්පාදය කියල කියන්නේ.
පින්වත් මහණෙනි, ජරාමරණ කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත්වීමක්, මහළු වී යාමක්, දත් වැටීමක්, කෙස් ඉදීමක්, ඇඟ පත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ජරාව කියන්නේ.
පින්වත් මහණෙනි, මරණය කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවලින් ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, චුතවන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, ජීවිතින්ද්‍රියෙහි ගෙවී යෑමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ. ඉතින් මේ ජරාවත්, මේ මරණයත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ.
පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හටගැනීමක්, මව්කුසක බැසගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතන හයේ ලැබීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ.
පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම (භවය) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම් (භව) තුනක් තියෙනවා. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (කාම භවය). රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (රූප භවය). අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (අරූප භවය). මේකට තමයි පින්වත් මහණෙනි, භවය කියල කියන්නේ.
පින්වත් මහණෙනි, බැඳීයාම (උපාදාන) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, බැඳීයාම් සතරක් තියෙනවා. පංච කාමයට බැඳී යනවා. මතවාදවලට බැඳී යනවා. නොයෙක් සීල ව්‍රතවලට බැඳී යනවා. ‘මම, මාගේ, මාගේ ආත්මය’ යන හැඟීමට බැඳී යනවා. මේකට තමයි පින්වත් මහණෙනි, උපාදාන කියල කියන්නේ.
පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, තණ්හාව හය ආකාරයකින් හටගන්නවා. රූප ගැන තණ්හාව ඇතිවෙනවා. ශබ්ද ගැන තණ්හාව ඇතිවෙනවා. ගඳ සුවඳ ගැන තණ්හාව ඇතිවෙනවා. රස ගැන තණ්හාව ඇතිවෙනවා. පහස ගැන තණ්හාව ඇතිවෙනවා. සිතේ ඇතිවෙන අරමුණු ගැන තණ්හාව ඇතිවෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ.
පින්වත් මහණෙනි, විඳීම කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඳීමක් තියෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, විඳීම කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, හය ආකාරයක ස්පර්ශයක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේකට තමයි පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ.
පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ මොකක්ද? ඇස නම් වූ ආයතනයක් තියෙනවා. කණ නම් වූ ආයතනයක් තියෙනවා. නාසය නම් වූ ආයතනයක් තියෙනවා. දිව නම් වූ ආයතනයක් තියෙනවා. කය නම් වූ ආයතනයක් තියෙනවා. මනස නම් වූ ආයතනයක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ.
පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නෙ මොකක්ද? විඳීම (වේදනා), හඳුනාගැනීම (සඤ්ඤා), චේතනා, ස්පර්ශය, මනසිකාරය කියන මේකට තමයි නාම කියල කියන්නේ. සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපත් කියන මේකට තමයි රූප කියල කියන්නේ. ඉතින් මේ නාමත්, මේ රූපත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නේ.
පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඤ්ඤාණයක් තියෙනවා. ඇසේ ඇතිවෙන විඤ්ඤාණය, කණේ ඇතිවෙන විඤ්ඤාණය, නාසයේ ඇතිවෙන විඤ්ඤාණය, දිවේ ඇතිවෙන විඤ්ඤාණය, කයේ ඇතිවෙන විඤ්ඤාණය, මනසේ ඇතිවෙන විඤ්ඤාණය. මේකට තමයි පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නේ.
පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මේ සංස්කාර තුන් ආකාරයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවාට තමයි පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ.
පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ.
පින්වත් මහණෙනි, ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.
අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.
සාදු! සාදු!! සාදු!!!
විභංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M